රනිල් වික්‍රමසිංහ මහතා සන්ධානයෙන් ඉවත් විය යුතු බව සමගි ජන බලවේගයේ බහුතර මතය නොවන බවත්, එන්නත් විෂ වීමේ සිදුවීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා අවධාරණය කරයි. අද (19) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ වික්‍රමසිංහ මහතා උපදේශකයෙකු ලෙස හෝ කණ්ඩායම සමඟ සිටිය යුතු බව පක්ෂයේ බහුතරයේ කැමැත්ත බවයි.පවතින ආපදා තත්ත්වය හමුවේ රජය ලබාදෙන බව පවසන වන්දි මුදල් පිළිබඳව අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී පොරොන්දු වූ මුදල් ලබාදීමට නිලධාරීන් එකඟ නොවන බවයි. චක්‍රලේඛවලට මුවා වී ජනතාව රවට්ටන්නේ නැතිව, හානි වූ නිවසකට රුපියල් ලක්ෂ 10ක වන්දියක් ලබාදෙන බවට වූ පොරොන්දුව ඉටුකරන ලෙස ඔහු රජයෙන් ඉල්ලා සිටියේය. එමෙන්ම වතු කම්කරුවන්ට ද කිසිදු කොන්දේසියකින් තොරව සහනාධාර ලබාදිය යුතු බව ඔහු යෝජනා කළේය.පළාත් පාලන ආයතනවල අයවැය පරාජය කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, හොර රහසේ ඡන්ද විමසීම් පවත්වා බලය ලබා ගැනීමට එරෙහිව මෙම තීරණය ගත් බවයි. අයවැය පරාජය කිරීම හරහා එම ආයතනවල මහජන සේවාවන්ට බාධාවක් නොවන බවද ඔහු පැහැදිලි කළේය.තවද, මෑතකදී වාර්තා වූ එන්නත් විෂ වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සුජිත් සංජය පෙරේරා මහතා චෝදනා කළේ, පෙර රජය සමයේ මෙවැනි සිදුවීම්වලට විරුද්ධ වූ වත්මන් අමාත්‍යවරුන් දැන් එම වගකීම නිලධාරීන් පිට පටවා නිදහස් වීමට උත්සාහ කරන බවයි. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සමගි ජන බලවේගය පසුබට නොවන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

























