රාජ්‍ය ආයතන කිහිපයක ඉහළ තනතුරු සඳහා වෙනස්කම් සිදු කිරීමට රජය තීරණය කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා නිවේදනය කළේය. ඊයේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, මේ වන විට වෙනස් කළ යුතු නිලධාරීන් කවුරුන්ද යන්න පිළිබඳව රජය සාකච්ඡා කරමින් සිටින බවයි. ඉදිරි දිනවලදී රාජ්‍ය ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල ප්‍රධානීන් ඇතුළු තනතුරු ගණනාවක වෙනසක් සිදු කිරීමට රජය අපේක්ෂා කරන අතර, ඒ පිළිබඳව අනියත බියක් ඇති කරගත යුතු නොවන බවත්, අදාළ ආයතන සහ නිලධාරීන් පිළිබඳව ඉදිරියේදී නිල වශයෙන් දැනුම් දෙන බවත් අමාත්‍යවරයා පැහැදිලි කළේය.සාමාන්‍යයෙන් රජයක් ක්‍රියාත්මක වන විට ආයතනික වෙනස්කම් සිදුවීම සාමාන්‍ය දෙයක් බවත්, ඇතැම් නිලධාරීන් පෞද්ගලික හේතූන් මත හෝ වෙනත් වගකීම් භාරගැනීම සඳහා මාරුවීම් ඉල්ලා සිටින බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. තවත් සමහර අවස්ථාවලදී ආයතනික ප්‍රගතිය උදෙසා වෙනස්කම් සිදු කිරීම යහපත් බව රජය තීරණය කරන අතර, මෙම සියලු කරුණු සැලකිල්ලට ගනිමින් ඉදිරි තීරණ ගන්නා බවත් ඒ පිළිබඳව නියමිත වේලාවට මහජනතාව දැනුවත් කරන බවත් නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


























