එළඹෙන සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් නිල නැකත් සීට්ටුව ප්‍රකාශයට පත් කිරීමට රජය මෙතෙක් පියවර නොගැනීම සම්බන්ධයෙන් ‘සර්වජන බලය’ සන්ධානය සිය දැඩි විරෝධය පළ කරයි. කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ එම සන්ධානයේ නායකයින් අවධාරණය කළේ, රජය ජාතික සංස්කෘතික වගකීම්වලින් බැහැරව කටයුතු කරන බවයි. රාජ්‍ය නැකත් කමිටුව වහාම කැඳවා ජනතාවට නිල නැකත් වේලාවන් ලබාදීමට රජය කටයුතු කළ යුතු බව ඔවුන් මෙහිදී ඉල්ලා සිටියහ.මෙහිදී අදහස් දැක්වූ සර්වජන බලය උප සභාපති වෛද්‍ය චන්න ජයසුමන මහතා පෙන්වා දුන්නේ, අලුත් අවුරුද්දට තව ඇත්තේ මාසයක පමණ කෙටි කාලයක් වුවද, නිල නැකත් ප්‍රකාශයට පත් නොකිරීම හේතුවෙන් විවිධ පාර්ශ්වයන් පරස්පර නැකත් ඉදිරිපත් කරමින් ජනතාව නොමඟ යවන බවයි. වර්තමාන පාලකයින්ගේ අසංස්කෘතික සහ මාක්ස්වාදී නැඹුරුව හේතුවෙන් මෙවැනි ජාතික උත්සව සංවිධානාත්මකව කඩාකප්පල් කිරීමට උත්සාහ කරන්නේද යන්න පිළිබඳව සැකයක් මතුවන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.මෙම ජාතික වගකීම රජය විසින් තවදුරටත් පැහැර හරින්නේ නම්, ඊට විකල්පයක් ලෙස දින දෙකක් ඇතුළත නිල නැකත් සීට්ටුවක් සකස් කර ජනතාව වෙත ඉදිරිපත් කිරීමට තමන් සූදානම් බවද සර්වජන බලය නියෝජිතයෝ මෙහිදී අනතුරු ඇඟවූහ. අපේ රටේ අනන්‍යතාව සහ සංස්කෘතික උරුමයන් අවම කිරීමට හෝ මඟහැරීමට පවතින රජයට කිසිසේත්ම ඉඩ නොතබන බවත්, රට ගැන හැඟීමක් ඇති පාලනයක අවශ්‍යතාව මෙවැනි සිදුවීම් හරහා මනාව පැහැදිලි වන බවත් සන්ධානයේ ලේකම් නීතිඥ රංජන් සෙනෙවිරත්න සහ උප සභාපති ගාමිණී වලේබොඩ යන මහත්වරුන් අවධාරණය කළහ.සිංහල අලුත් අවුරුද්ද යනු හුදු උත්සවයක් පමණක් නොව, එය මෙරට ජනතාවගේ සිරිත් විරිත් සහ සංස්කෘතිය සමඟ බැඳුණු ජාතික මහෝත්සවයක් බැවින්, රාජ්‍ය මැදිහත් වීමෙන් නිසි ලෙස නැකත් චාරිත්‍ර ඉටුකිරීම අනිවාර්ය බව මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් ප්‍රකාශ විය. ජනතාවගේ ජීවන රටාවට හා සංස්කෘතියට එල්ල වන මෙවැනි බලපෑම් හමුවේ ජාතික බලවේග ඒකරාශී වී ක්‍රියා කරන බව සර්වජන බලය සන්ධානය අවසන් වශයෙන් ප්‍රකාශ කළේය.

























