සිංහල හා හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර අතර සුවිශේෂී ස්ථානයක් ගන්නා “රාජ්‍ය හිසතෙල් ගෑමේ මංගල්‍යය” මෙවරත් මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ පිහිටි නාථ දේවාල භූමියේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. මල්වතු සහ අස්ගිරි උභය මහා විහාරීය අනුනායක ස්වාමීන් වහන්සේලාගේ අනුශාසකත්වය යටතේ, නියමිත සුබ නැකතට අනුව මෙම ජාතික පුණ්‍ය මහෝත්සවය පැවැත්වීමට නියමිතය.මෙම කටයුතු පිළිබඳ පූර්ව සංවිධාන සාකච්ඡාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා අවධාරණය කළේ, මෙරට සංස්කෘතික අනන්‍යතාවය විහිදුවන මෙම උත්සවය කිසිදු අඩුපාඩුවකින් තොරව, නිසි ගෞරවය රැකෙන පරිදි සංවිධානය කිරීම රජයේ අරමුණ බවයි. රාජ්‍ය නිලධාරීන් මෙන්ම විශාල ජනකායක් සහභාගී වන බැවින් ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් සලසන ලෙසද උපදෙස් ලබා දෙන ලදී.මෙහිදී ආරාධනා පත්‍ර බෙදාහැරීම, ඖෂධීය නානු හා අවුරුදු ලිත සකස් කිරීමේ සිට සජීවී විකාශන කටයුතු, ආරක්ෂාව, සනීපාරක්ෂාව, විදුලිය සහ ජල සැපයුම වැනි අත්‍යවශ්‍ය සේවා පිළිබඳව දීර්ඝ වශයෙන් අවධානය යොමු විය. එසේම පෙරහැර කටයුතු, හස්තීන් සම්බන්ධීකරණය, වෛද්‍ය හා ප්‍රථමාධාර සේවා මෙන්ම පැමිණෙන පිරිස් සඳහා දානමය හා සංග්‍රහ කටයුතු සම්පාදනය කිරීම සම්බන්ධයෙන්ද අදාළ අංශ වෙත වගකීම් පවරනු ලැබීය.සාකච්ඡාවෙන් අනතුරුව අමාත්‍යවරයා ඇතුළු පිරිස නාථ දේවාල පරිශ්‍රය වෙත ගොස් එහි සූදානම පිළිබඳ ක්ෂේත්‍ර පරීක්ෂාවකද නිරත වූහ. මෙම අවස්ථාවට අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් ප්රමුඛ මහා සංඝරත්නයත්, අමාත්‍යාංශ ලේකම්වරුන්, ආයුර්වේද කොමසාරිස් ජනරාල්, මහනුවර දිසාපති, නගරාධිපති ඇතුළු ආරක්ෂක අංශවල ඉහළ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.


























