සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් දිවයිනේ ප්‍රධාන බන්ධනාගාර 10ක රැඳවියන් පිරිසක් සුවිශේෂී මානුෂීය පියවරක් ගෙන තිබේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරන පරිදි, මෙම රැඳවියන් තමන්ට හිමි ආහාර වේල පරිත්‍යාග කරමින් එම වටිනාකමට සමාන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොගයක් විපතට පත් ජනතාව වෙනුවෙන් ලබා දී ඇත.මෙම පුණ්‍යකර්මය සඳහා මැගසින්, වැලිකඩ, බෝගම්බර, මාතර, මහර, කුරුවිට, යාපනය, මොණරාගල, අඟුණුකොළපැලැස්ස සහ මඩකලපුව යන බන්ධනාගාරවල රැඳවියන් එක්ව තිබීම විශේෂත්වයකි. එහිදී වැඩිම දායකත්වයක් දක්වා ඇත්තේ අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරය වන අතර එහි වටිනාකම රුපියල් 540,679කි. වැලිකඩ සහ මැගසින් බන්ධනාගාර ද පිළිවෙළින් රුපියල් ලක්ෂ 4.5 ඉක්මවූ ආහාර ද්‍රව්‍ය තොග මේ වෙනුවෙන් වෙන් කර ඇත.පරිත්‍යාග කරන ලද අනෙකුත් දායකත්වයන් සලකා බලන විට මහර බන්ධනාගාරයෙන් රුපියල් 386,010ක සහ බෝගම්බර බන්ධනාගාරයෙන් රුපියල් 367,949ක වටිනාකමින් යුත් භාණ්ඩ පිරිනමා තිබේ. මීට අමතරව යාපනය, මඩකලපුව සහ කුරුවිට බන්ධනාගාර ද රුපියල් ලක්ෂ දෙකකට අධික වටිනාකමකින් යුත් ආහාර ද්‍රව්‍ය මෙම සහන සේවා සඳහා එක්කාසු කර ඇති බව බන්ධනාගාර වාර්තා පෙන්වා දෙයි.කුඩාම දායකත්වයන් ලෙස මාතර සහ මොණරාගල බන්ධනාගාරවලින් ද රුපියල් ලක්ෂයකට ආසන්න සහන ද්‍රව්‍ය ප්‍රමාණයක් ලැබී ඇත. සිරගතව සිටියද ආපදාවට පත් රටේ ජනතාව කෙරෙහි සහකම්පනය දක්වමින් රැඳවියන් සිදුකළ මෙම පරිත්‍යාගය සමාජයේ පැසසුමට ලක්ව ඇත. මෙම සියලු ආහාර ද්‍රව්‍ය කඩිනමින් විපතට පත් ප්‍රදේශවල ජනතාව අතර බෙදා දීමට නියමිතය.


























