රු.1,500 දඩය මිලියනයකට ඉහළ දැමූ ගැසට්ටුවක්

විවිධ අපරාධ සඳහා අධිකරණයකට පැනවිය හැකි උපරිම දඩ මුදල් ප්‍රමාණය ඉහළ දමමින් අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

ඒ සඳහා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ඉදිරිපත් කළ පනත් කෙටුම්පත පසුගියදා ගැසට් කළා.

රුපියල් 1,500ක්ව පැවති ඇතැම් දඩ මුදල් නව පනත් කෙටුම්පතින් රුපියල් මිලියනයක් දක්වා ඉහළ නංවා තිබීම ද විශේෂත්වයක්.

බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබෙනවා.

අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ වගන්ති කිහිපයක් මෙමගින් සංශෝධනය කර ඇති අතර මහේස්ත්‍රාත් අධිකරණයකට පැනවිය හැකි උපරිම දඩ මුදල් ප්‍රමාණය ඉහළ නැංවීමට ඉන් යෝජිතයි.

ඒ අනුව කලහ කිරීමේ චෝදනාව සඳහා රුපියල් 100ක්ව පැවැති දඩ මුදල රුපියල් 10,000ක් දක්වා ඉහළ දැමීමට යෝජනා කර තිබෙනවා.

ඡන්ද විමසීමක් සම්බන්ධ අල්ලස් දීමක් සඳහා රුපියල් 500ක්ව පැවැති දඩ මුදල රුපියල් මිලියනයක් දක්වාත්, ඡන්ද විමසීමක් සම්බන්ධව සංග්‍රහ කිරීමෙන් අල්ලස් දීමකදී අය කළ රුපියල් 200ක දඩ මුදල රුපියල් 750,000ක් දක්වා ඉහළ දැමීමට මෙම කෙටුම්පතින් යෝජිතයි.

ඡන්ද විමසීමකදී අයුතු බලපෑම් කිරීම සම්බන්ධයෙන් රුපියල් 500ක්ව පැවැති දඩ මුදල රුපියල් ලක්ෂයක් දක්වා ඉහළ දැමීමට යෝජනා කර තිබෙනවා.

එමෙන්ම ඡන්ද විමසීමකදී අන් අයෙකුගේ නාමයෙන් පෙනී සිටීමේ වරදට අය කෙරුණු රුපියල් 300ක දඩ මුදල ද රුපියල් ලක්ෂයක් දක්වා ඉහළ දැමීමට යෝජිතයි.

රජයේ සේවකයෙකු විසින් සිතාසි හෝ වෙනත් නියෝග භාර දෙනු ලැබීම වැළැක්වීම සඳහා පැනගොස් සැඟව සිටීමේ වරදට රුපියල් 50ක දඩයක් මෙතෙක් පැවති අතර එය රුපියල් 50,000ක් දක්වා ඉහළ දැමීමට යෝජනා කර තිබෙනවා.

විකිණීමට අදහස් කරන ආහාර හෝ පාන අහිතකර පරිද්දෙන් බාල කිරීමේදී රුපියල් 100ක්ව පැවැති දඩ මුදල රුපියල් ලක්ෂයක් දක්වාත්, ආහාර පාන අහිතකර බව දැන දැනම ඒවා ආහාර පාන වශයෙන් විකිණූ විට අයකළ රුපියල් 100ක දඩ මුදල වෙනුවට, මාස 6ක කාලයකට බන්ධනාගාරගත කිරීමක් හෝ රුපියල් 100,000 දක්වා දඩ මුදලක් නියම කිරීම හෝ
එම දඬුවම් දෙකම හෝ නියම කිරීමට නව පනත් කෙටුම්පතින් යෝජිතයි.

අලෙවිය පිණිස ඇති ඖෂධ සංයෝගයක ගුණය අඩුවන පරිදි, එහි ක්‍රියාකාරීත්වය අඩුවන පරිදි හෝ එය අහිතකරවන පරිදි බාල කිරීමේදී, මාස 6ක කාලයකට බන්ධනාගාරගත කිරීමක් හෝ රුපියල් 100,000 දක්වා දඩ මුදලක් නියම කිරීම හෝ එම දඬුවම් දෙකම හෝ නියම කිරීමට මෙමගින් යෝජනා කර තිබෙනවා.

එසේම බාල කරනු ලැබූ බව දන්නා යම් ඖෂධයක් විකිණීම සඳහා තැබීම හෝ බෙහෙත් ශාලාවකින් නිකුත් කිරීමේදී හා යම් ඖෂධයක් වෙනස් ඖෂධ සංයෝගයක් වශයෙන් දැනගෙනම විකිණීම හෝ බෙහෙත් ශාලාවකින් නිකුත් කිරීමේදී මාස 6ක කාලයකට බන්ධනාගාරගත කිරීමක් හෝ රුපියල් 100,000 දක්වා දඩ මුදලක් නියම කිරීම හෝ එම දඬුවම් දෙකම හෝ නියම කිරීමට මෙමගින් යෝජනා කර ඇති අතර, එම වැරදි සම්බන්ධයෙන් දැනට පවතින්නේ රුපියල් 100ක දඩයක්.

පොදු උල්පතක හෝ ජලාශයක ජලය අපවිත්‍ර කිරීමේ වරදට මෙතෙක් පැවැති මාස 3ක බන්ධනාගාරගත කිරීමේ කාලය මාස 6ක් දක්වා දීර්ඝ කිරීමට යෝජනා කර ඇති අතර ඒ සඳහා පැවැති රුපියල් 50ක දඩ මුදල ද රුපියල් ලක්ෂයක් දක්වා ඉහළ දැමීමට යෝජනා කර තිබෙනවා.

මනුෂ්‍ය ජීවිතයට අන්තරායකර වන පරිදි අපරික්ෂාකාරී ලෙස හෝ නොසැළකිලිමත් ලෙස මහා මාර්ගයක රිය පැදවීම හෝ සතෙකු පිට යෑමේ වරදට අදාළ දඩුවම් හා දඩ මුදල් ද නව කෙටුම්පතින් වෙනස් කර ඇති අතර, ඒ අනුව මාස 6ක බන්ධනාගාරගත කිරීම හෝ රුපියල් 100ක දඩය හෝ එම දඩුවම් දෙකම වෙනුවට රුපියල් 75,000කට නොඅඩු දඩ මුදලක් හා මාස 6ක් නොඉක්මවන කාලයකට බරපතළ වැඩ සහිතව බන්ධනාගාරගත කිරීමක් හෝ එම දඩුවම් දෙකම ලබා දීමට මෙමගින් යෝජිතයි.

එසේම ඔහුගේ රියදුරු බලපත්‍රය අවලංගු කිරීමට ද නව පනත හරහා අධිකරණ අමාත්‍යවරයා යෝජනා කර තිබෙනවා.

මනුෂ්‍ය ජීවිතයට අන්තරායදායක වන පරිදි යම් විෂ ද්‍රව්‍යයන් පිළිබඳ කටයුතු කිරීමේදී රුපියල් 100ක්ව පැවැති දඩ මුදල රුපියල් 50,000ක් දක්වා ඉහළ යනු ඇති.

තමා සන්තකයේ සිටින යම් සතෙකුගෙන් මනුෂ්‍ය ජීවිතයට වන අන්තරායක් හෝ බරපතළ තුවාලයක් වැළැක්වෙන පරිදි එම සත්ත්වයා රැක බලා ගැනීම පැහැර හැරීමේදී මෙතෙක් රුපියල් 100ක්ව පැවැති දඩ මුදල වෙනුවට මාස 6ක කාලයක් සඳහා බන්ධනාගාරගත කිරීමක් හෝ රුපියල් 20,000ක් දක්වා විය හැකි දඩ මුදලක් හෝ එම දඬුවම් දෙකම හිමිවිය හැකියි.

මහජන කරදරයක් සිදු කිරීමට අදාළව රුපියල් 50ක්ව පැවැති දඩ මුදල රුපියල් 20,000ක් දක්වා ඉහළ දැමීමට නව කෙටුම්පතින් යෝජනා කර තිබෙනවා.

මනුෂ්‍ය ජීවිතයට අන්තරායදායක වන අන්දමේ ක්‍රියාවක් සැහැසි ලෙස හෝ නොසැළකිලිමත් ලෙස කිරීමෙන් බරපතළ තුවාල සිදු කිරීමේ වරදට රුපියල්ද හසක්ව පැවැති දඩ මුදල රුපියල් 150,000 දක්වා ඉහළ දැමීමට ද නව කෙටුම්පතින් යෝජිතයි.

යම් තැනැත්තෙකු අයුතු ලෙස සිර කර තැබීමේ වරදට රුපියල් ලක්ෂ 5ක දඩයක් යෝජනා කර ඇති අතර මීට පෙර එම වරදට පැවතියේ රුපියල් 1,000ක දඩයක්.

යම් තැනැත්තෙකු අයුතු ලෙස සිර කර තැබීමට තැත් කිරීමේදී අඩන්තේට්ටම් කිරීම හෝ සාපරාධ බලහත්කාරකම් පෑමේදී රුපියල් 1,000ක්ව පැවැති දඩ මුදල රුපියල් ලක්ෂ 5ක් දක්වා ඉහළ දැමීමට නව කෙටුම්පතින් යෝජනා කර තිබෙනවා.

ගෙයකට අයුතු ලෙස ඇතුළු වීමේ වරදට රුපියල් 1,000ක්ව පැවැති දඩ මුදල රුපියල් 150,000 දක්වා ඉහළ නැංවීමටද මෙමගින් යෝජිතයි.

ප්‍රසිද්ධ හොරෙකු නිකරුණේ ගැවසීමේදී මෙතෙක් පැවතියේ රුපියල් 50ක දඩ මුදලක් වන අතර එම දඩ මුදල වෙනුවට මාස 3ක බන්ධනාගාරගත කිරීමක් හෝ රුපියල් 20,000ක දඩ මුදලක් හෝ එම දඩුවම් දෙකම හෝ ලබා දීමට නව කෙටුම්පතින් අධිකරණ අමාත්‍යවරයා යෝජනා කර තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *