ජාතික ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවෙල මැතිවරණ කොට්ඨාශයේ නව සංවර්ධන ව්‍යාපෘතියක් පසුගිය සෙනසුරාදා නිල වශයෙන් ආරම්භ විය. රුපියල් මිලියන 80ක ප්‍රතිපාදන මත ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය මගින් දංගොල්ල හන්දියේ සිට කෝපිහේන දක්වා වූ කිලෝමීටර් 1.4ක මාර්ග කොටස නවීකරණය කෙරෙන අතර, මෙය කුරුණෑගල, පොල්ගහවෙල සහ වාරියපොළ යන මැතිවරණ කොට්ඨාශ එකිනෙකට සම්බන්ධ කරන වැදගත් සන්ධිස්ථානයකි.මෙම මාර්ගය දෛනිකව පරිහරණය කරන හම්බර, දෙමටළුව, හෙල්ගම-රත්මලේ, පිදුරුවෙල්ල, කෝහණ, දංගොල්ල, දම්පිටිය, දමුණුගල, වෙහෙරබැඳ, දෙමටගහපෑලැස්ස සහ සඳගල උතුර/දකුණ යන ගම්මානවල පවුල් 600කට අධික සංඛ්‍යාවකට මෙමගින් සෘජු ප්‍රතිලාභ හිමිවේ. මාර්ග සංවර්ධන අධිකාරියේ සෘජු ශ්‍රම දායකත්වයෙන් සිදුකෙරෙන මෙම සංවර්ධන කටයුතු නිමවීමෙන් පසු, ප්‍රදේශවාසීන්ට කුරුණෑගල නගරය වෙත ගමන් කිරීමට ඇති දුර ප්‍රමාණය කිලෝමීටර් 10කට වඩා වැඩි ප්‍රමාණයකින් අඩු වනු ඇතැයි බලධාරීහු විශ්වාසය පළ කරති.ප්‍රවාහන සබඳතා වැඩිදියුණු කිරීමට අමතරව, මෙම මාර්ගය අලකොළදෙණිය කාර්මික කලාපයට පිවිසෙන ප්‍රධාන මාර්ගයක් ලෙසද භාවිතයට ගැනේ. මෙමගින් කලාපීය ආර්ථික කටයුතු ශක්තිමත් වන අතර, ගමන් කාලය සහ ප්‍රවාහන පිරිවැය අවම වීම තම ජීවනෝපාය මාර්ග දියුණු කර ගැනීමට මෙන්ම දෛනික ගමන් බිමන් පහසු කර ගැනීමට මහත් පිටුවහලක් වන බව ගම්වැසියෝ පවසති.ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සමාරම්භක අවස්ථාවට ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව දිසානායක, පොල්ගහවෙල ප්‍රාදේශීය සභා සභාපති එච්. ඒ. විමලසිරි සහ මාර්ග සංවර්ධන අධිකාරියේ වයඹ පළාත් අධ්‍යක්ෂ අතුල සේනාධීර යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් රැසක් සහභාගී වූහ.ප්‍රදේශයේ යටිතල පහසුකම් නංවාලමින් ජනතා අයිතියට පත් කිරීමට නියමිත මෙම මාර්ගය, ඉදිරි මාස කිහිපය තුළ වැඩ අවසන් කිරීමට නියමිතය. රජය විසින් ක්‍රියාත්මක කරන මෙම පුළුල් සංවර්ධන වැඩපිළිවෙල හරහා ග්‍රාමීය මට්ටමින් ප්‍රවාහන ජාලය ශක්තිමත් කිරීම අරමුණු කෙරේ.


























