රුපියල් ලක්ෂ 54ක හොර දුම්වැටි තොගයක් සමඟ ඩුබායි සිට ආ ව්‍යාපාරිකයා කොටු වෙයි!

ඩුබායි සිට මෙරටට පැමිණි තරුණ ව්‍යාපාරිකයෙකු රුපියල් ලක්ෂ 54කට අධික වටිනාකමකින් යුත් විදේශීය දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස රැගෙන ඒමේදී කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට පත්ව තිබේ. ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී මෙම ජාවාරම අනාවරණය කර ගැනීමට හැකි වී ඇත.​අත්අඩංගුවට ගත් සැකකරු තල්දූව, ඇපලපිටිය ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකි. මොහු ඊයේ (28) රාත්‍රී 07.30ට පමණ එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ.- 652 දරන ගුවන් යානයෙන් දිවයිනට පැමිණ ඇති අතර, ඔහුගේ හැසිරීම කෙරෙහි ඇති වූ සැකය මත නිලධාරීන් විසින් දැඩි පරීක්ෂාවට ලක් කර තිබේ.​එහිදී ඔහු විසින් රැගෙන ආ ගමන් මලු දෙකක් තුළ ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබූ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 36,000ක් අඩංගු දුම්වැටි කාටූන් 180ක් සොයා ගැනීමට නිලධාරීහු සමත් වූහ. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

What's your reaction?

Related Posts

1 of 1,031

Leave A Reply

Your email address will not be published. Required fields are marked *