රුසියානු රැකියා ජාවාරමේ දඹගල්ලේ සැකකරු අධිකරණයට

රුසියානු රැකියා ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මොණරාගල – දඹගල්ල ප්‍රදේශයේ විශ්‍රාමික හමුදා සෙබලා අද (17) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

රැකියා ලබා දෙන බවට පවසා රුසියාවට ඇතුලු වීමට නොහැකිව යළි මෙරටට පැමිණි විශ්‍රාමික හමුදා සෙබලුන් පිරිසක් ඔවුන් විදේශ ගත කරන බව පවසා මුදල් ලබා ගත් අදාළ විශ්‍රාමික හමුදා සෙබලාගේ නිවසට ඊයේ (16) ගොස් තිබුණා.

ඒ ඔහු නිවසේ රැදී සිටින බවට ලද තොරතුරු අනුවයි.

අනතුරුව දඹගල්ල පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන මොණරාගල පොලිසියට භාර දී තිබුණා.

මේ අතර, රුසියානු හමුදාවේ සේවය සඳහා ශ්‍රී ලාංකිකයින් යොමු කළ නුගේගොඩ ස්ටෑන්ලි තිලකරත්න මාවතේ පිහිටා ඇති විදේශ රැකියා නියෝජිතායතනයක හිමිකරු හා එහි කළමණාකරු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

සැකකරුවන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ ඉදිරිපත් කළ අතර ඔවුන් ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කෙරුණේ.

අදාළ විදේශ රැකියා නියෝජිතායතනයේ බලපත්‍රයද තාවකාලිකව අත්හිටු වීමට පියවර ගෙන තිබෙනවා. සංචාරක වීසා මගින් රුසියානු හමුදාවේ සිවිල් සේවය සඳහා යොමු කරන බව පවසමින් මෙම ආයතනය එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ 15 බැගින් මුදල් අයකර විදේශ ගත කර ඇති අතර පසුව ඔවුන් රුසියානු යුක්‍රේන යුද පෙරමුණට යොමු කර ඇති බව සඳහන්.

මේ අතර, මෙම ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විශ්‍රාමික මේජර් ජෙනරාල් රණරාජා රණවක ඇතුලු සැකකරුවන් 5 දෙනාද ලබන 30 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රඛිත අබේසිංහ නියෝග කළා.

එම සැකකරුවන් ඊයේ අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේ රුසියාවට ගිය විශ්‍රාමික රණවිරුන්ගේ ඥාතීන් පිරිසක් අධිකරණ සංකීරණය අසළ නිහඩ විරෝධතාවයක නිරත වුණා.

මේ අතර, රුසියාවේ මිනිස් ජාවාරම සම්බන්ධයෙන් කටයුතු කරන කණ්ඩායමක් විසින් එරට ආගමන විගමන අංශවල නීති උල්ලංඝණය කරමින් එම රටට ඇතුලු වීමට අවශ්‍ය උපදෙස් ලබාදෙන හඬපටයක් අප වෙත ලැබී තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *