ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට සංවිධානය කරනු ලබන “ලංකා රයිඩ් 2025” පාපැදි සවාරිය 2025 දෙසැම්බර් 18 සිට 20 දක්වා පැවැත්වෙන බව ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනය කර ඇත. තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය, ලේක් හවුස් සමූහය, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සහ පාපැදි විනිශ්චයකාරවරුන්ගේ සංගමය එක්ව සංවිධානය කරන මෙම පාපැදි සවාරිය පිළිබඳ මාධ්‍ය හමුව ඊයේ (12) ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වී. ප්‍රේමචන්දිරන්, පාපැදි විනිශ්චයකාරවරුන්ගේ සංගමයේ සභාපති උපුල් චන්දන සහ සන්නාම ප්‍රවර්ධන කළමනාකාර දර්ශ චන්ද්‍රසිරි යන මහත්වරුන් සහභාගී විය.පාපැදි සවාරිය දෙසැම්බර් 18 වැනිදා ලේක් හවුස් ආයතනය ඉදිරිපිටින් ආරම්භ වන අතර, ආරම්භක දිනයේ කිලෝමීටර් 7ක නිදහස් ගමනකට අවසර ඇත. ඉන් පසු පෑලියගොඩ පොලිස් ස්ථානය ඉදිරිපිටින් නිල වශයෙන් තරගය ආරම්භ කරන අතර, පාපැදි ධාවකයින් කිලෝමීටර් 106ක් ගෙවා ගණේරුමුල්ලට ළඟා වීමට නියමිතය. දෙවන දිනයේදී (දෙසැම්බර් 19) ඔවුන් මහනුවර සිට දඹුල්ල හරහා කිලෝමීටර් 136ක් ගෙවා අනුරාධපුරයට පැමිණේ. තෙවන දිනයේදී (දෙසැම්බර් 20) අනුරාධපුරයේ සිට පුත්තලම පාර හරහා පැමිණ කොළඹ නිදහස් චතුරශ්‍රය ඉදිරිපිටින් කිලෝමීටර් 208ක දුරක් අවසන් කිරීමෙන් තරගය නිමා වේ.ක්‍රීඩකයන්ට කණ්ඩායම් වශයෙන් තරගයට ඇතුළත් වීමට අවස්ථාව ලබා දී ඇති අතර, එක් පාපැදි කණ්ඩායමකට උපරිම ක්‍රීඩකයින් 6ක් සහ අවම ක්‍රීඩකයින් 4ක් ඇතුළත් විය යුතුය. අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය දෙසැම්බර් 12 වේ.ක්‍රීඩා අමාත්‍යාංශයට අනුව, ප්‍රථම ස්ථානය දිනා ගන්නා ක්‍රීඩකයාට රුපියල් 600,000/- ක මුදල් ත්‍යාගයක්, දෙවන ස්ථානයට රුපියල් 500,000/- ක්, තෙවන ස්ථානයට රුපියල් 400,000/- ක් හිමි වන අතර, 25 වැනි ස්ථානය දක්වා තරගය නිම කරන ධාවකයන්ට ද මුදල් ත්‍යාග පිරිනැමීමට නියමිතය. මීට අමතරව, වයස අවුරුදු 23ට අඩු හොඳම තරුණ පාපැදි ධාවකයාට රුපියල් 200,000/- ක්, හොඳම කඳු නගින්නාට (King of the Mountain) රුපියල් 100,000/- ක්, ලකුණු මත තෝරන අතරමැදි ස්ප්‍රින්ට් ජයග්‍රාහකයන්ට රුපියල් 100,000/- ක්, හොඳම පාපැදි කණ්ඩායමට රුපියල් 200,000/- ක් සහ හොඳම අනුශූර කණ්ඩායමට රුපියල් 100,000/- ක් ලෙස ද මුදල් ත්‍යාග පිරිනැමීමට අපේක්ෂා කෙරේ.


























