කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා බුද්ධාගමට සහ මහා සංඝරත්නයට අපහාස කිරීම තුළින් 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති (ICCPR) පනත උල්ලංඝනය කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා චෝදනා කරයි. නිවේදනයක් නිකුත් කරමින් මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ, මිහින්තලේ රජමහා විහාරාධිපති පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ට “කැලෑ වැදුණු පුද්ගලයෙක්” ලෙස හඳුන්වමින් ලාල් කාන්ත මහතා මෑතකදී සිදුකළ ප්‍රකාශය බෞද්ධ නායකයෙකුට කළ දැඩි නිග්‍රහයක් බවයි.ජාතික, වාර්ගික හෝ ආගමික වෛරය වැපිරීම සහ වෙනස්කොට සැලකීමට හෝ ප්‍රචණ්ඩත්වයට පෙළඹවීම ICCPR පනත යටතේ තහනම් බව පෙන්වා දෙන රාජපක්ෂ මහතා, අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය ආගමික වෛරය පතුරුවාලීමක් බව අවධාරණය කරයි. සාමාන්‍ය පුරවැසියෙකු හෝ විපක්ෂයේ සාමාජිකයෙකු මෙවැනි ප්‍රකාශයක් කළේ නම් ඔවුන් මේ වන විටත් අත්අඩංගුවට ගෙන නඩු පවරා ඇති බවත්, ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවන්නේ මන්දැයි ඔහු ප්‍රශ්න කර සිටියි. නීතිය සැමට සමාන විය යුතු බවත්, මහා සංඝරත්නයට අපහාස කිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරයාට එරෙහිව ගන්නා නීතිමය පියවර කුමක්දැයි ආණ්ඩුව පැහැදිලි කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියි.ඉතිහාසය පුරා දේශපාලඥයන් සහ මහා සංඝරත්නය අතර විවිධ මතභේද පැවතියද, ශ්‍රී ලංකාවේ කිසිදු දේශපාලනඥයෙකු මෙලෙස මහා සංඝරත්නයට ප්‍රසිද්ධියේ අපහාස කර නොමැති බවද නාමල් රාජපක්ෂ මහතා එම නිවේදනයෙන් අවධාරණය කර ඇත.


























