ජාත්‍යන්තර කාන්තා දිනය සැමරුම් උත්සවයකට පමණක් සීමා නොකර, වසරේ දින 365 පුරාම මෙරට කාන්තාවන්ගේ අයිතිවාසිකම් සහ ගෞරවය සුරක්ෂිත කරන සැබෑ වැඩපිළිවෙළක් රටට අවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි. කොළඹ නෙළුම් පොකුණ පරිශ්‍රයේදී පැවැති ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උළෙල අමතමින් ඒ මහතා කියා සිටියේ, පුරුෂාධිපත්‍යය හමුවේ යටපත්ව ඇති කාන්තා හඬ අවදි කරමින් ඔවුන් මුහුණ දෙන ප්රචණ්ඩත්වය සහ අසරණභාවය තුරන් කිරීමට “වනිතා කාර්ය සාධන බලකායක්” වහාම ස්ථාපිත කරන බවයි.කාන්තා සවිබල ගැන්වීම උදෙසා අධ්‍යාපනික ප්‍රවේශයක වැදගත්කම පෙන්වා දුන් විපක්ෂ නායකවරයා, විශ්වවිද්‍යාල ශිෂ්‍යාවන් වෙනුවෙන් විශේෂ ශිෂ්‍යත්ව ක්‍රමයක් “ජන නළ ලිය” වැඩසටහන හරහා අද සිටම ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කළේය. ඉදිරි වසර දෙක තුළ දිවයින පුරා ග්‍රාම නිලධාරී වසම් 14,008ක් සහ කුඩා ගම්මාන 50,000කට අධික සංඛ්‍යාවක් ආවරණය වන පරිදි කාන්තාවන්ගේ ජීවනෝපාය නංවන සහ ඩිජිටල් සාක්ෂරතාවය ලබා දෙන බිම් මට්ටමේ යාන්ත්‍රණයක් ශක්තිමත් කිරීමටද සැලසුම් කර ඇත.පවතින ආර්ථික අර්බුදය හමුවේ වැඩිම පීඩනයකට ලක්ව ඇත්තේ ගෘහනිය බවත්, මාතෘ හා ළමා මන්දපෝෂණය උග්‍ර වීම හමුවේ “ගෙදර බුදුන්” වන අම්මා දැඩි අසරණභාවයකට පත්ව ඇති බවත් මෙහිදී අනාවරණය විය. පවුලක ආදායම කළමනාකරණය කරමින් දූදරුවන් වෙනුවෙන් උපරිම කැපකිරීමක් කරන්නේ කාන්තාව වුවද, ඉහළ යන බඩු මිල සහ ජීවන බර හමුවේ ඇයගේ ආර්ථික නිදහස අද වන විට බරපතල ලෙස කඩා වැටී ඇති බව විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.ග්‍රාමීය මෙන්ම නාගරික කාන්තාවන් බහුලව ගොදුරු වී සිටින ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලෙන් ඔවුන් මුදා ගැනීම සඳහා සමගි ජන බලවේගය නෛතික මැදිහත්වීමක් සිදු කිරීමට සූදානම්ය. මෙම ණය බරින් මිරිකී සිටින කාන්තාවන් වෙනුවෙන් නොමිලේ නීති සහාය ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කරන බවත්, ඔවුන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් පෙනී සිටීම දේශපාලන වගකීමක් ලෙස සලකන බවත් ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.සමාජයේ කතා කිරීමට මැලි වන “ආර්ථව දරිද්‍රතාවය” වැනි සංවේදී මාතෘකා පිළිබඳව එදා තමන් හඬ නැගූ විට උපහාසයට ලක් කළ පිරිස් පවා අද එහි යථාර්ථය පිළිගෙන ඇති බව පැවසූ සජිත් ප්‍රේමදාස මහතා, කාන්තා සෞඛ්‍ය ප්‍රශ්නවලට විසඳුම් දීම ජාතික ප්‍රතිපත්තියක් විය යුතු බව ප්‍රකාශ කළේය. පාසල් පද්ධතිය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කළ මෙම සෞඛ්‍ය වැඩපිළිවෙළ රටේ සියලුම කාන්තාවන් වෙත නොමිලේ ව්‍යාප්ත කිරීමේ ජාතික මෙහෙයුම අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවට ඔහු සහතික විය.හිස් ප්‍රචාර සහ බොරු සෝබන දේශපාලන නාට්‍ය වෙනුවට කාන්තාවට නිවසේදී, වැඩබිමේදී සහ මහාමර්ගයේදී පූර්ණ ආරක්ෂාව සලසන යුගයක් නිර්මාණය කළ යුතු බව විපක්ෂ නායකවරයාගේ අදහසයි. කාන්තාවගේ අයිතීන් සුරක්ෂිත කිරීම යනු රටේ ළමා පරපුරේ අයිතීන් සුරක්ෂිත කිරීම හා සමපාත වන්නක් බැවින්, දැනුම සහ ප්‍රායෝගික විසඳුම් පෙරදැරි කරගත් සැබෑ ගමනක් වෙනුවෙන් පෙළගැසෙන ලෙස ඔහු සමස්ත ලාංකේය කාන්තා පරපුරට ඇරයුම් කළේය.

























