ශුද්ධාසනයේ රාජ්‍යයන් හා ජාත්‍යන්තර සංවිධාන සමඟ සබඳතා පිළිබඳ ලේකම් (වතිකානයේ විදේශ අමාත්‍ය) අතිඋතුම් අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් මැතිතුමා පසුගිය සඳුදා (04) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය හමුවිය. මෙම සාකච්ඡා අධ්‍යාපනය, සංහිඳියාව සහ ජාත්‍යන්තර සබඳතා කෙරෙහි අවධානය යොමු විය. අග්‍රාමාත්‍ය අමරසූරිය මහත්මිය රජයේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව පැහැදිලි කළ අතර, එය අගරදගුරු ගැලගර් මැතිතුමාගේ උණුසුම් ප්‍රතිචාරයට ලක්විය. තවද, අධ්‍යාපනය යනු “සාමය, බලාපොරොත්තුව සහ ප්‍රජා සංවර්ධනය සඳහා වූ නව නාමය” බව පවසමින්, ශුද්ධාසනයේ ගෝලීය වැඩසටහනක් වන ‘ලෝක අධ්‍යාපන ජුබිලිය’ පිළිබඳවද ඔහු අවධාරණය කළේය. පශ්චාත් ගැටුම් සංහිඳියාව පිළිබඳව අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළේ, සංහිඳියාව සඳහා අඛණ්ඩ සංවාදය, ඉවසීම සහ නැවුම් දැක්මක් අවශ්‍ය වන බවයි. ඇය රජයේ සමෝධානික සහ බහුත්වවාදී ප්‍රවේශය එහිදී පැහැදිලි කළාය. අගරදගුරු ගැලගර් මැතිතුමා මෙම දැක්ම ප්‍රශංසාවට ලක් කළ අතර, ජාත්‍යන්තර විශ්වාසය ගොඩනැගීමේදී යුක්තිය, විශ්වාසය සහ විනිවිදභාවයෙහි වැදගත්කම අවධාරණය කළේය. මෙම හමුව අවසානයේදී, අගරදගුරු ගැලගර් මැතිතුමා යෝජනා කළේ, උන්වහන්සේගේ ශුද්ධෝත්තම ලියෝ XIV වන පාප්තුමා විසින් ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සලකා බැලිය යුතු බවයි. අග්‍රාමාත්‍යවරිය විසින් මෙම යෝජනාව පිළිගත් අතර, විධිමත් ආරාධනයක් කිරීමට සූදානම් බවද ප්‍රකාශ කළාය. ආචාර්ය අමරසූරිය මහත්මිය ශුද්ධාසනයේ සංචාරය කිරීමට අගරදගුරු ගැලගර් මැතිතුමා කළ ආරාධනය ද පිළිගත්තාය. මෙම වතිකානුවේ නියෝජිත පිරිසට, කොළඹ ශුද්ධාසන තානාපති කාර්යාලයේ වැඩබලන පූජ්‍ය රොබර්ටෝ ලුචිනි මොන්සිඤෝරුතුමන් සහ රාජ්‍ය ලේකම් කාර්යාලයේ දෙවන ලේකම් පූජ්‍ය ටොමිස්ලාව් සූබාක් මොන්සිඤෝරුතුමන් ද ඇතුළත් විය. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා, අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත මහත්මිය, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් සුගීෂ්වර ගුණරත්න මහතා සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ (යුරෝපා සහ උතුරු ඇමරිකා) අනෝද්‍යා චිරාශ්‍රී මහත්මිය ද සහභාගී වූහ.























