වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු. 1,750 දක්වා ඉහළට: අගමැති හරිනි අමරසූරිය

වතුකරයේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට රජය කැපවී සිටින බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය අවධාරණය කරයි. ඒ අනුව, 2026 ශ්‍රී ලංකා අයවැයෙන් වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු. 1,350 සිට රු. 1,750 දක්වා ඉහළ නැංවීමට යෝජනා කර ඇති බව ඇය පැවසුවාය. අගමැතිවරිය සඳහන් කළේ, මෙය මූලික දෛනික වැටුප රු. 1,550 දක්වා වැඩි කිරීමක් සහ රජය විසින් යෝජනා කරන ලද දෛනික පැමිණීමේ දීමනාව වන රු. 200ක් ඇතුළත් වන බවත්, එය 2026 ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වීමට නියමිත බවත්ය. “මෙය, කර්මාන්තය පවත්වාගෙන යන ජනතාවට සාධාරණ වන්දි සහ උසස් ජීවන තත්ත්වයක් සහතික කිරීම සඳහා අප දරන ප්‍රයත්නවල ආරම්භයයි. ඒ සමඟම, තේ ක්ෂේත්‍රය දියුණු කිරීමට රජය කැපවී සිටී. කර්මාන්තය වඩාත් තිරසාර, තරඟකාරී සහ සියල්ලන් ඇතුළත් එකක් බවට පත් කිරීම අපගේ දැක්මයි” යනුවෙන් ඇය පැවසුවාය.​තවදුරටත් අදහස් දැක්වූ අගමැතිවරිය, දේපළ අයිතිය දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රතික්ෂේප කරනු ලැබූ වතුකරයේ ජනතාවට වැඩි ආරක්ෂාවක් සහ ස්ථාවරත්වයක් ලබා දෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගියදා නිවාස ඔප්පු 2,000ක් ලබා දුන් බව ද පැවසීය. අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය මෙම අදහස් පළ කළේ අද කොළඹදී පැවති ජාතික තේ සම්මන්ත්‍රණයේ (InTSym100) සමාරම්භක උත්සවය ඇමතීමෙනි. ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනය (TRISL), 1925 දී පිහිටුවා වසර 100 ක් සනිටුහන් කරමින් මේ වසරේ ජාතියට කරන ලද විද්‍යාත්මක සේවාවට සියවසක් සැමරීය. ආයතනය “පර්ෆෙක්ට් සිප්: නවෝත්පාදන, තිරසාරත්වය සහ ජීවන රටා සම්බන්ධ කිරීම” (Perfect Sip: Bridging Innovations, Sustainability and Lifestyles) යන තේමාව යටතේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ අද සහ හෙට පැවැත්වෙන ජාත්‍යන්තර තේ සම්මන්ත්‍රණය 2025 මගින් මෙම සන්ධිස්ථානය සමරයි.​ලොව පුරා විද්‍යාඥයින්, පර්යේෂකයන්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ කර්මාන්ත නායකයින් සහයෝගී පර්යේෂණ හා සංවර්ධනය තුළින් දැනුම බෙදා ගැනීමට, නවෝත්පාදන ගවේෂණය කිරීමට සහ තේ කර්මාන්තයේ අනාගතය සකස් කිරීමට මෙම සුවිශේෂී උත්සවය සඳහා එක්ව සිටිති. මෙම අවස්ථාව අතරතුරදී නව තේ ප්‍රභේදයක් වන TRI 5000 අග්‍රාමාත්‍යවරියට පිළිගන්වන ලදී.​උත්සවය ඇමතූ අග්‍රාමාත්‍යවරිය තවදුරටත් කියා සිටියේ, “තේ, ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ප්‍රධාන අංගයක් ලෙස පවතින අතර, කෘෂිකාර්මික අපනයනවලින් 10% කට ආසන්න ප්‍රමාණයක් දායක කරන අතර, මිලියන දෙකකට ආසන්න ජනතාවකගේ ජීවනෝපාය සඳහා සහය දක්වයි. එහි ආර්ථික භූමිකාවෙන් ඔබ්බට, තේ අපගේ භූමියට, සංස්කෘතියට සහ ප්‍රජාවන්ට ගැඹුරින් සම්බන්ධ වී ඇත. එය කුඩා වතු හිමියන් සහ වතු කම්කරුවන්ගේ සිට නිෂ්පාදකයින්, ඇසුරුම්කරුවන් සහ අපනයනකරුවන් දක්වා වූ සමස්ත ක්ෂේත්‍රයේ පවුල් නඩත්තු කරයි.​“ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයෙන් ආසන්න වශයෙන් 90% ක්ම රටවල් 140 කට වැඩි ප්‍රමාණයකට අපනයනය කෙරේ. හඳුන්වා දුන් දා සිට, තේ ගුණාත්මකභාවය සහ සත්‍යතාව වෙනුවෙන් ජාත්‍යන්තරව පිළිගත් සිලෝන් තේ සමඟින් ගෝලීය වේදිකාවේ ශ්‍රී ලංකාව නියෝජනය කර ඇත. රජයක් ලෙස, අපි මෙම ප්‍රගතිය තවදුරටත් පුළුල් කිරීමට ඉලක්ක කරන අතර 2030 වන විට කිලෝග්‍රෑම් මිලියන 400 ක තේ නිෂ්පාදන ඉලක්කයක් සහ ඇමරිකානු ඩොලර් බිලියන 2.5 ක අපනයන ආදායමක් අප විසින් නියම කර ඇත” යනුවෙන් ඇය පැවසුවාය.​අගමැති අමරසූරිය මහත්මිය සඳහන් කළේ ඒ සමඟම, තේ කර්මාන්තයේ මානව මානය ද පිළිගත යුතු බවයි. “තේ දළු නෙළීමේ සිට පර්යේෂණ සහ පරිපාලන කටයුතු දක්වා කාන්තාවන් දිගු කලක් තිස්සේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර ඇත. මේ ක්ෂේත්‍රයේ ශ්‍රම බලකායෙන් 60% කට වැඩි ප්‍රමාණයක් කාන්තාවන්ගෙන් සමන්විත වේ. COVID-19 වසංගතය අතරතුර, අන් අය අගුලු දමා සිටියදී ඔවුන් දිගටම වැඩ කරමින් රාජ්‍යයට ආදායම් උත්පාදනය කළහ. ඔවුන්ගේ දායකත්වය පිළිගැනීමට ලක්විය යුතුය. සර්ප දෂ්ට කිරීම්වල සිට තේ දළු නෙළීමේදී සිදුවන තුවාල දක්වා ඔවුන් සැලකිය යුතු දුෂ්කරතාවලට මුහුණ දී ඇත. බොහෝ දෙනෙකුට තවමත් නිසි නිවාස පහසුකම් සහ ළමා ආරක්ෂණ පහසුකම් නොමැති අතර, එය ඔවුන්ගේ අභියෝග තවත් වැඩි කරයි. මෙම කාන්තාවන්ට අධ්‍යාපනය, පුහුණුව, ආරක්ෂිත සේවා තත්ත්වයන්, සාධාරණ වැටුප් සහ උසස්වීම් සඳහා සමාන අවස්ථා ලබා දිය යුතුය,” යනුවෙන් ඇය වැඩිදුරටත් පැවසුවාය.

What's your reaction?

Related Posts

1 of 834

Leave A Reply

Your email address will not be published. Required fields are marked *