සමගි ජන බලවේගයේ (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතා අද (13) දින පාර්ලිමේන්තුවේදී, 2026 අයවැය යෝජනා යටතේ වතු කම්කරුවන්ගේ අවම දෛනික වැටුප් වැඩි කිරීමට විරෝධය පළ කරන ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ව විවේචනයට ලක් කළේය.පාර්ලිමේන්තුව ඇමතූ මන්ත්‍රී දිගම්බරම් මහතා, වතු කම්කරුවන්ගේ වැටුප් ගැටලුව සඳහා රුපියල් මිලියන 5,000ක් වෙන් කිරීම සම්බන්ධයෙන් රජයට සිය ප්‍රශංසාව පළ කළේය. එම ගෙවීම දෛනිකව සිදු කරන්නේද, නැතහොත් දින 25ක සේවය සඳහා ගෙවන්නේද යන්න පැහැදිලි කරන ලෙසට ඔහු රජයෙන් ඉල්ලා සිටියේය.“මෙම වැටුප් වැඩි කිරීමට විරුද්ධ වන ඇතැම් විපක්ෂ කණ්ඩායම් සිටින නිසා මම මේක දැනගන්න කැමතියි. මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රී නිශාම් කාරියප්පර් මහතා මෙය විවේචනය කරන්නේ වැටුප් ගෙවන්නේ බදු ගෙවන්නන්ගේ මුදලින් නිසා. මෙම ප්‍රජාව පසුගිය වසර 200 පුරා රාජ්‍යය වෙනුවෙන් ඉපැයීම් කළ බව ඔවුන් තේරුම් ගත යුතුයි. ඔවුන්ට නොදී වෙන කාටද මේක දෙන්නේ?” යි ඔහු ප්‍රශ්න කළේය.දිගම්බරම් මන්ත්‍රීවරයා තවදුරටත් මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේ, ඔවුන්ගේ පක්ෂ යටතේ පැවති ආණ්ඩු විසින් වතු කම්කරුවන්ට වැටුප් වැඩි කිරීමට අපොහොසත් වූ බව පෙන්වා දෙමින් මෙම තීරණය විවේචනය නොකරන ලෙසයි.“මෙම රජයට වැටුප් වැඩි කළ හැකි නම්, අපි එය අගය කළ යුතු අතර අපගේ සහයෝගය පළ කළ යුතුයි. වතු කම්කරුවන්ගේ දෛනික වැටුප වැඩි කිරීම සම්බන්ධයෙන් මම ජනාධිපතිතුමාට ස්තූතිවන්ත වෙනවා,” ඔහු වැඩිදුරටත් පැවසීය.2026 අයවැය යෝජනා මගින්, වතු කම්කරුවන්ගේ වර්තමාන අවම දෛනික වැටුප වන රුපියල් 1,350 සිට රුපියල් 1,550 දක්වා 2026 ජනවාරි මාසයේ සිට ඉහළ නැංවීමට යෝජනා කර ඇත. එපමණක් නොව, රුපියල් 1,550 ක වැටුපට අමතරව, රජය විසින් දෛනික පැමිණීමේ දීමනාවක් ලෙස රුපියල් 200 ක් ගෙවීමට ද යෝජනා වී තිබේ.
























