වසර 13කට පසු මරඳගහමුල රජයේ සහල් ගබඩා යළි සක්‍රියයි!

වසර 13ක් පුරා භාවිතයට නොගෙන අත්හැර දමා තිබූ මරඳගහමුල තොග වෙළෙඳපොළේ පිහිටි රජයට අයත් සහල් ගබඩා සංකීර්ණය යළි ක්‍රියාත්මක කළ බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි. සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, මරඳගහමුල සහල් වෙළෙඳපොළ යනු අතීතයේ මෙරට සහල් මිල තීරණය කිරීමට පවා බලපෑම් කළ හැකි වූ ප්‍රධානතම වෙළෙඳ මධ්‍යස්ථානයක් බවයි. අනුරාධපුරය, පොළොන්නරුව, අම්පාර සහ කුරුණෑගල වැනි ප්‍රධාන වී වගා කරන දිස්ත්‍රික්කවල මෝල් හිමියන් සිය සහල් තොග මෙම වෙළෙඳපොළට රැගෙන ආ අතර, කොළඹ ඇතුළු ප්‍රධාන නගරවල තොග වෙළෙඳුන් ඒවා මිලදී ගැනීමට මෙහි පැමිණි බව ඔහු සිහිපත් කරයි.​කෙසේ වෙතත්, 2013 වසරේදී රුපියල් මිලියන ගණනක වියදමින් ඉදිකරන ලද මෙම ගබඩා දෙක වසර ගණනාවක් තිස්සේ ප්‍රයෝජනයට නොගෙන අත්හැර දැමීම නිසා ඒවා විනාශ වෙමින් පැවති බව අමාත්‍යවරයා සඳහන් කළේය. වත්මන් රජය වී අලෙවි මණ්ඩලය හා ඒකාබද්ධව ලංකා සතොස ආයතනය යළි සක්‍රිය කිරීම හරහා සහල් වෙළෙඳපොළ මිල නියාමනය කිරීමට පියවර ගනිමින් සිටියි. මෙම වැඩසටහන යටතේ රජය මිලදී ගත් වී, දිවයින පුරා සිටින සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් හරහා සහල් බවට පත්කර වෙළෙඳපොළට නිකුත් කිරීම ආරම්භ කර ඇත. මෙතෙක් භාවිතයට නොගත් මරඳගහමුල ගබඩා පරිශ්‍රය මේ වන විට සහල් තොගවලින් පිරී පවතින අතර, එය ජාතික සහල් සැපයුම් දාමය ශක්තිමත් කිරීමේ තීරණාත්මක පියවරක් බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

What's your reaction?

Related Posts

1 of 1,049

Leave A Reply

Your email address will not be published. Required fields are marked *