ශ්‍රී ලංකා රග්බි ලෝලීන් මහත් උනන්දුවෙන් බලාපොරොත්තු වූ අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරගාවලිය වසර හතරක විරාමයකින් පසු යළිත් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා රග්බි ආයතනය (SLR) පියවර ගෙන තිබේ. “BogoLiv | UnionPay International SLR සත් සාමාජික තරඟාවලිය 2026” ලෙස නම් කර ඇති මෙම තරගාවලිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සහ කණ්ඩායම් නායකයන් හඳුන්වාදීම ඊයේ කොළඹදී උත්සවාකාරයෙන් පැවැත්විණි.මෙම තරගාවලිය අදියර දෙකක් යටතේ පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, පළමු අදියරේ තරග මාර්තු 21 සහ 22 යන දිනවල CR & FC ක්‍රීඩා පිටියේදී පැවැත්වේ. තරගාවලියේ අවසන් අදියර මාර්තු 28 සහ 29 යන දිනවල කොළඹ තුරඟ තරග පිටියේදී (Racecourse) පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකා රග්බි ආයතනයේ සභාපති පවිත්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ ඉදිරි ආසියානු රග්බි තරගාවලිය සඳහා ජාතික සංචිතය තේරීමේ පදනම ලෙස මෙම තරගාවලිය යොදාගන්නා බවයි.පිරිමි අංශය සඳහා මෙරට ප්රමුඛ පෙළේ සමාජ කණ්ඩායම් 8ක් සහ ඩුබායි හි UUDS ටස්කර්ස් (UUDS Tuskers) කණ්ඩායම ඇතුළුව කණ්ඩායම් 9ක් තරග බිමට පිවිසෙයි. මුලින් ජාත්‍යන්තර කණ්ඩායම් තුනක් සහභාගී වීමට නියමිතව තිබුණද, මැදපෙරදිග පවතින අස්ථාවර වාතාවරණය හේතුවෙන් කණ්ඩායම් දෙකකට සිය සහභාගීත්වය අවලංගු කිරීමට සිදු වූ බව සංවිධායක මණ්ඩලය ප්‍රකාශ කළේය.මෙවර තරගාවලියේ විශේෂිතම අංගය වන්නේ කාන්තා රග්බි ක්‍රීඩාව නංවාලීම වෙනුවෙන් හඳුන්වා දී ඇති පළාත් කාන්තා සත් සාමාජික තරගාවලියයි. දිවයින පුරා විසිරී සිටින දක්ෂ ක්‍රීඩිකාවන් හඳුනාගැනීම සඳහා පළාත් අටක් නියෝජනය කරමින් කාන්තා කණ්ඩායම් 8ක් මෙයට එක් වේ. දැනට මෙරට පවතින කාන්තා රග්බි සමාජ සංඛ්‍යාව සීමිත බැවින්, මෙම නව වැඩපිළිවෙළ හරහා ජාතික කාන්තා සංචිතය ශක්තිමත් කිරීමට අපේක්ෂිතය.මෙම දැවැන්ත ක්‍රීඩා මංගල්‍යය සඳහා ප්‍රධාන අනුග්‍රාහක දායකත්වය BogoLiv ඩිජිටල් ජීවන රටා වේදිකාව සහ යුනියන්පේ ඉන්ටර්නැෂනල් (UnionPay International) ආයතනය විසින් සපයනු ලබයි. ශ්‍රී ලංකා රග්බි ආයතනය මෙම ආයතන වෙත සිය කෘතඥතාව පළ කළ අතර, කාන්තා කණ්ඩායම් අට සඳහාම පූර්ණ මූල්‍ය අනුග්‍රහය ලබා දෙමින් ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් සුවිශේෂී ආයෝජනයක් සිදු කර තිබේ.වසර කිහිපයකට පසු රග්බි පිටියට නැවතත් ජීවය පිඹින මෙම තරගාවලිය, ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර අත්දැකීම් ලබා ගැනීමට මෙන්ම ප්‍රේක්ෂකයන්ට වේගවත් රග්බි ක්‍රීඩාවේ උද්යෝගය අත්විඳීමට ලැබෙන අනගි අවස්ථාවකි. රටේ රග්බි ක්‍රීඩාවේ අනාගත ප්රගමනය උදෙසා ක්‍රීඩකයන්, රසිකයන් සහ සියලුම කොටස්කරුවන් මෙම අවස්ථාව වටා රොද බඳිනු ඇතැයි ශ්‍රී ලංකා රග්බි ආයතනය විශ්වාසය පළ කරයි.


























