ව්‍යාජ පුවත් හා අපරාධකරුවන්ට එරෙහිව දැඩි නීතිමය පියවර!

ආපදා තත්ත්වයකට මුළු ජාතියම මුහුණ දෙන මේ මොහොතේ, අසත්‍ය සහ අසභ්‍ය පුවත් සංසරණය කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වූට්ලර් මහතා අවධාරණය කළේය. මහජනතාව අතර බියක් හා නොසන්සුන්තාවක් ඇති කරන පුවත් සංසරණය කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිලි කිහිපයක් ලැබී ඇති අතර, පරිගණක අපරාධ අංශය ඒ පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇතැයි ද ඔහු සඳහන් කළේය. අද (01) ත්‍රිවිධ හමුදා මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ.එස්.පී. වූට්ලර් මහතා මේ බව ප්‍රකාශ කළේය. ආපදා තත්ත්වයෙන් පසු කාලය තුළ ජනතාවගේ ආරක්ෂාව සහ යහපැවැත්ම වෙනුවෙන් රජය අඛණ්ඩව සේවා සහ සැපයුම් පවත්වාගෙන යාමට කැපවී සිටියදී, ඇතැම් පුද්ගලයන් සමාජ මාධ්‍ය ඔස්සේ සත්‍ය තොරතුරු නොවන සහ අසත්‍ය පුවත් සංසරණය කිරීමට පෙළඹී ඇති බව හෙතෙම පෙන්වා දුන්නේය. මහජනතාව අතර බියක් හා නොසන්සුන්තාවක් ඇතිවන ප්‍රකාශ නිකුත් කිරීම සහ ප්‍රකාශයට පත් කිරීම බරපතළ වරදක් බවත්, අසත්‍ය තොරතුරු සංසරණය කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවත් පොලිස් ප්‍රකාශකවරයා අවධාරණය කළේය. එබැවින්, ජාතිය එක්ව සිටිය යුතු මේ ආපදා තත්ත්වය හමුවේ අසත්‍ය සහ අසභ්‍ය පුවත් සංසරණය නොකරන ලෙස පොලිස් දෙපාර්තමේන්තුව වෙනුවෙන් ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටියේය. ආපදාවට ලක් වූ ප්‍රදේශවලින්, විශේෂයෙන්ම සහන මධ්‍යස්ථානවලින් දූෂණ, අනවසරයෙන් ඇතුළුවීම්, සොරකම් සහ මංකොල්ලකෑම් වැනි ඇතැම් අපරාධ වාර්තා වී ඇති බව ද ඔහු සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය අනුව එවැනි වැරදි සිදුකරන ඕනෑම අයෙකුට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව ඔහු අවධාරණය කළේය. ආපදාවට ලක් වූවන්ගේ සුබසාධනය සඳහා වන ඒකාබද්ධ මෙහෙයුමට සියලු පුරවැසියන්ගෙන් ගෞරවනීය දායකත්වයක් රජය අපේක්ෂා කරන බව ද ඔහු පැවසීය. ශ්‍රී ලංකාවේ සිටින විදේශිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ද පොලිස් දෙපාර්තමේන්තුව වැදගත් සහ කඩිනම් පියවර ගණනාවක් ගෙන ඇතැයි ඒ.එස්.පී. වූට්ලර් මහතා වැඩිදුරටත් කියා සිටියේය. ගැටළු වලට මුහුණ දෙන සංචාරකයින්ට 0718591894, 0112421070, හෝ 1912 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ සංචාරක පොලිස් අධ්‍යක්ෂවරයා සම්බන්ධ කර ගැනීමට හෝ 0718596057 ඔස්සේ ගුවන් තොටුපළ සංචාරක OIC හෝ 0718591640 ඔස්සේ ගුවන් තොටුපළ රාජකාරි OIC සම්බන්ධ කර ගත හැකිය. මීට අමතරව, පොලිස්පතිවරයාගේ මගපෙන්වීම යටතේ පොලිස් මූලස්ථානයේ පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම් කාමරයක් ස්ථාපිත කර ඇත. ආපදාවට ලක්වූ පුද්ගලයන් සම්බන්ධ ගැටළු හෝ කරුණු වාර්තා කිරීම සඳහා මහජනතාවට 0718595884, 0718595883, 0718595882, 0718595881, හෝ 0718595880 යන අංක අමතන්න පුළුවන්.

What's your reaction?

Related Posts

1 of 888

Leave A Reply

Your email address will not be published. Required fields are marked *