පසුගිය කාලසීමාව පුරා මෙරට වාහන හිමිකරුවන් මුහුණ දුන් ප්‍රධානතම ගැටලුවක් වූ අංක තහඩු හිඟයට ස්ථිර විසඳුම් ලබා දෙමින්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අද (10) නව ගිවිසුමකට එළඹුණි. ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සී. පෙරේරා මහතා සහ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතාගේ සහභාගීත්වයෙන් ‘සවුත් ඒෂියන් ටෙක්නොලජි’ (South Asian Technology) ආයතනය සමඟ මෙම පස් අවුරුදු ගිවිසුම අත්සන් කෙරිණි.කැබිනට් මණ්ඩල අනුමැතිය සහ නීතිපතිවරයාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය යටතේ ඉදිරි මාස දෙක ඇතුළත අංක තහඩු මුද්‍රණය කිරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතය. මෙම ක්‍රියාවලිය වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ වන අතර, මූලික සාකච්ඡාවලින් අනතුරුව ඉතා කඩිනමින් ජනතාවට අවශ්‍ය අංක තහඩු ලබා දීමට සියලු කටයුතු සූදානම් කර ඇත.පොලිස්පතිවරයා විසින් කරන ලද විශේෂ ඉල්ලීමක් ද සැලකිල්ලට ගනිමින් මෙම වැඩපිළිවෙළ කඩිනම් කළ බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා මෙහිදී අවධාරණය කළේය. මාර්ග ආරක්ෂාව සහ වාහන නියාමනය විධිමත් කිරීම සඳහා නිසි ප්‍රමිතියෙන් යුත් අංක තහඩු නොමැති වීම විශාල බාධාවක්ව පැවති අතර, මෙම නව ගිවිසුම හරහා එම අර්බුදය මුළුමනින්ම නිමාවට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.වසර පහක කාලයක් පුරා ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය මගින් නව වාහන ලියාපදිංචියේදී මෙන්ම අංක තහඩු අස්ථානගත වූ වාහන සඳහා ද කඩිනම් සේවාවක් සැලසීමට අපේක්ෂිතය. රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ඒකාබද්ධ දායකත්වයෙන් සිදු කෙරෙන මෙම තාක්ෂණික වැඩපිළිවෙළ, මෙරට මෝටර් රථ ප්‍රවාහන ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කරා ගෙන යන තීරණාත්මක පියවරක් ලෙස ද හැඳින්විය හැකිය.

























