මෙරට වාරි පද්ධතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් වැව් රක්ෂිත ආක්‍රමණය කරමින් ඉදිකර ඇති සියලු පදිංචිකිරීම් ඉවත් කිරීමට රජය කැපවී සිටින බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා අවධාරණය කරයි. විරෝධතා හෝ දේශපාලන බලපෑම් හමුවේ මෙම තීරණය වෙනස් නොකරන බව පැවසූ අමාත්‍යවරයා, කෘෂිකාර්මික හා ජල සුරක්ෂිතතාව සඳහා අත්‍යවශ්‍ය වන වැව් පද්ධති සහ එල්ලංගා පද්ධති ප්‍රතිසංස්කරණය කිරීමේදී ඇති ප්‍රධානතම බාධාව මෙම අනවසර පදිංචිකිරීම් බව ද පෙන්වා දුන්නේය. ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක වන දේශගුණික සුරක්ෂිත වාරි කෘෂිකාර්මික ව්‍යාපෘතියේ එල්ලංගා කළමනාකරණ කමිටු අත්පොත එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.වැව් රක්ෂිත අනවසර පදිංචිකිරීම්වලින් තොර විය යුතු බවත්, මිත්‍රත්වයන් හෝ දේශපාලන ඇඟිලි ගැසීම් මත එම ක්‍රියාවලිය නැවැත්විය නොහැකි බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. අනුරාධපුර නුවරවැව ඇතුළු වැව් කිහිපයක රක්ෂිත තුළ සිටින පිරිස් නැවත පදිංචි කිරීමේ කටයුතු දැනටමත් ආරම්භ කර ඇති අතර, එහිදී මතුවන විරෝධතා සම්බන්ධයෙන් ද ඔහු අදහස් දැක්වීය. මහවැලි සංවර්ධන ව්‍යාපාරයේදී ජනතාවට වඩාත් යහපත් ජීවන තත්ත්වයන් ලබා දෙමින් ඔවුන් නැවත පදිංචි කළ ආකාරය සිහිපත් කළ අමාත්‍යවරයා, රක්ෂිතවලින් ඉවත් කරනු ලබන ජනතාවට ද වන්දි ලබා දෙමින් ඔවුන්ගේ ජීවනෝපාය මාර්ග දියුණු කිරීමට රජය සහතික වන බව පැවසීය.එසේම, පදිංචිකරුවන්ගේ අවශ්‍යතා මත වැව් රක්ෂිත සීමාවන් සංශෝධනය කිරීමට ඇතැම් නිලධාරීන් ඉදිරිපත් කරන යෝජනා අමාත්‍යවරයාගේ දැඩි විවේචනයට ලක් විය. එවැනි මානසිකත්වයකින් යුත් නිලධාරීන් සිටින තාක් කල් වාරි පද්ධතීන් දිගුකාලීනව ආරක්ෂා කළ නොහැකි බව ඔහු පැවසීය. ජල යටිතල පහසුකම් ආරක්ෂා කිරීමේදී නිලධාරීන් මීට වඩා වගකීමෙන් සහ ඉදිරිගාමීව කටයුතු කළ යුතු බව ද අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.


























