පසුගිය මාස අටක කාලය තිස්සේ රජය විසින් සුදුසු විගණකාධිපතිවරයෙකු පත් කිරීමට අපොහොසත් වීම, දූෂණ වංචා වසා ගැනීමේ හිතාමතා කරන ලද උත්සාහයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඊයේ චෝදනා කළේය. ස්වාධීන විගණකාධිපතිවරයෙකු පත් කළහොත් නීතිවිරෝධී සීනි ආනයනය, වරායෙන් බහාලුම් 323ක් නීතිවිරෝධී ලෙස නිදහස් කිරීම සහ ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයනය වැනි අක්‍රමිකතා රැසක් හෙළිදරව් වනු ඇතැයි යන බිය නිසා රජය මෙම පත්කිරීම මඟහරිමින් සිටින බව මන්ත්‍රීවරයා සඳහන් කළේය. එමෙන්ම, මීට පෙර තමන්ට හිතවත් පුද්ගලයෙකු මෙම තනතුරට පත් කිරීමට දැරූ උත්සාහය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ව්‍යර්ථ කිරීමෙන් පසු, රජයේ නායකයන් නැවත වරක් සිය හිතවතෙකු එම තනතුරේ පිහිටුවීමට ලැජ්ජා සහගත උත්සාහයක නිරත වන බවද ඔහු කියා සිටියේය.මෙම ප්රමුඛ තනතුර පුරප්පාඩු වී පැවතීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරයෙන් ලැබෙන මූල්‍ය ආධාරවලට දැඩි බලපෑම් එල්ල විය හැකි බව රාජපක්ෂ මහතා අනතුරු ඇඟවීය. ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතන ආධාර ලබාදීමේදී විධිමත් විගණන යාන්ත්‍රණයක් අපේක්ෂා කරන බව පෙන්වා දුන් ඔහු, විගණකාධිපතිවරයෙකු නොමැති රටකට කිසිදු සහනයක් හෝ ණය මුදලක් ලබා දීමට ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරිපත් නොවන බව අවධාරණය කළේය. රජයේ මෙම ක්‍රියාකලාපය රට බරපතල අනතුරකට ඇද දැමීමක් බවත්, එය වහාම නතර කළ යුතු බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.


























