ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ස්වාධීන සාමාජිකයින් තිදෙනෙකුගේ ධුර කාලය 2026 ජනවාරි 18 වනදා අවසන් වන තෙක් විගණකාධිපතිවරයෙකු පත් කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මඟහරිමින් සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා චෝදනා කරයි. නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ, ව්‍යවස්ථා සභාවට තමන්ගේ හිතවතුන් පත් කර ගැනීමෙන් අනතුරුව ජනාධිපතිවරයාට රුචි විගණකාධිපතිවරයෙකු පත් කර ගැනීමට මෙහිදී සැලසුම් කර ඇති බවයි. ව්‍යවස්ථා සභාවේ බහුතරය තමන් සතු කර ගැනීම හරහා මෙම පත්වීම් දේශපාලනීකරණය කිරීම ජනාධිපතිවරයාගේ අරමුණ බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.කෙසේ වෙතත්, මෙම ‘මහා කුමන්ත්‍රණය’ පරාජය කිරීමට විපක්ෂ නායකවරයාට රන්මය අවස්ථාවක් ඇති බව ගම්මන්පිල මහතා පෙන්වා දෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41E වගන්තියට අනුව නව සාමාජිකයින් පත් වන තෙක් පැරණි සාමාජිකයින්ට ධුරයේ රැඳී සිටිය හැකි වුවද, පවත්නා සම්ප්‍රදායෙන් බැහැරව ව්‍යවස්ථාව අකුරටම ක්‍රියාත්මක කිරීමට විපක්ෂ නායකවරයා එකඟ විය යුතු බව ඔහු පවසයි. විශේෂයෙන්ම ව්‍යවස්ථාවේ 41A(1)(e)(iii) වගන්තිය ප්‍රකාරව ස්වාධීන පුද්ගලයන් තිදෙනෙකු අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයාගේ එකඟතාවයෙන් නම් කළ යුතු බැවින්, එම නම් තිදෙනාම ඒකාබද්ධව යෝජනා කළ යුතු බවට විපක්ෂ නායකවරයා දැඩිව පෙනී සිටිය යුතු බව ඔහු අවධාරණය කළේය.මෙම යෝජනාවට විපක්ෂ නායකවරයා එකඟ නොවන්නේ නම්, අග්‍රාමාත්‍යවරිය විසින් ජාතික ජන බලවේගයේ හිතවතෙකු ව්‍යවස්ථා සභාවට නම් කරනු ඇති බවත්, ඒ හරහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්, නීතිපති සහ ස්වාධීන කොමිෂන් සභා සාමාජිකයින් ඇතුළු සමස්ත රාජ්‍ය තන්ත්රයම ජනාධිපතිවරයාට අවශ්‍ය පරිදි දේශපාලනීකරණය කිරීමට මඟ පෑදෙන බවත් ගම්මන්පිල මහතා අනතුරු ඇඟවීය.


























