විජිතට උත්තර – නීතිඥ උදය ගම්මන්පිල

2024 ඔක්තෝම්බර් 23 වන දින පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස්

පසුගිය 21 දා මා කළ හෙලිදරව්වට ආණ්ඩුව වෙනුවෙන් ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් ඇමතිතුමා සිය ප්‍රතිචාර දක්වා තිබෙනවා. එතුමා මේ වාර්තා ව්‍යාජ වාර්තා කියා කිව්වේ නෑ. මුලින්ම මා ප්‍රසිද්ධ කළ වාර්තා සැබෑ වාර්තා බවට පිලිගැනීම පිළිබඳ විජිත හේරත් ඇමතිතුමාට මගේ ප්‍රණාමය පුද කරනවා. ඒ වගේම අල්විස් වාර්තාවේ අඩංගු කරුණු පදනම් විරහිත අසත්‍ය කරුණු කියා කිව්වෙත් නෑ. ඒ වෙනුවට වාර්තාව ප්‍රතික්ෂේප කිරීමට ඉදිරිපත් කලේ අපූරු වෙනස් කාරණා.

විජිත හේරත් ඇමතිතුමා මේ වාර්තාව ප්‍රතික්ෂේප කරන්නේ එහි සභාපති ධූරය දැරූ විනිසුරුවරිය විෂමාචාර චෝදනා මත සේවයෙන් ඉවත් වීමට සිදු වුණා කියලා. 2004 දී සේවයෙන් ඉවත් වීමට අවසර ලබා දී 2006 දී නැවත සේවයේ පිහිටුවූ බවත් ඉන්පසු 2023 දක්වා සේවය කළ බවත් එතුමා ප්‍රකාශ කරනවා. යමෙක් යළි සේවයේ පිහිටුවන්නේ විෂමාචාර වරදට නිවැරදිකරු නිසානෙ. මහේස්ත්‍රාත් විනිසුරුවරිය දිසා විනිසුරුවරියක් වෙලා ඉන් අනතුරුව මහාධිකරණ විනිසුරුවරියක් වෙලා තමයි ඇය විශ්‍රාම ගන්නේ. ඇය සේවයෙන් ඉවත් වී යළි සේවයට පැමිණි නිසා එතුමිය සභාපති ධූරය දැරූ කමිටු වාර්තාව පිලිගන්නේ නැතිනම් 2006 සිට 2023 දක්වා වසර 17ක් එතුමිය ලබා දුන් නඩු තීන්දුත් පිලිගන්නේ නැද්ද? එසේනම් ඇය සිර දඬුවම් නියම කළ අයව නිදහස් කරනවා ද? දඩ නියම කළ අයගේ දඩය නැවත ඒ අයට ගෙවනවා ද? දික්කසාද කළ අය නැවත කසාද බන්ඳනවා ද? ඒ වගේම යම් කමිටුවක සාමාජිකයෙකුගේ හැකියාව හෝ පැවැත්ම අභියෝගයට ලක් කරනවා නම් එය කළ යුත්තේ කමිටුව පත් කළ අවස්ථාවේ. එහෙම නැතිව වාර්තාව තමන්ට අවාසිදායකයි කියලා දැක්කාට පස්සේ තමන්ගේ චක්ගෝලයන්ව දේශපාලන සගයන්ව ඒ වාර්තාවෙන් වැරදි කරුවන් වුනාම කමිටු සාමාජිකයින්ගේ පැවැත්ම නිසා වාර්තාව පිලිගන්නේ නෑ කියන එක කිසිම රටක පිලිගන්නා තර්කයක් නොවේ. එය නොදන්නා විජිත හේරත් මැතිතුමාට මම නීතිඥයෙක් වශයෙන් එය කියාදීම යුතුකමක් කියලා මම හිතනවා.

2024 ජූනි මාසයේ මාලිමා පොලිස් සාමූහිකය පිහිටුවීමෙන් පස්සේ තමයි මේ කමිටුව පිහිටුවන්නේ සහ මේ වාර්තාව සැප්තැම්බර් 15ට පෙර භාර දෙන්න කියා නියම කරන්නේ දේශපාලනික අරමුණෙන් කියන එක විජිත හේරත් ඇමතිතුමාගේ තවත් චෝදනාවක්. දේශපාලන අරමුණෙන් මේ කමිටුව හැදුවා නම් සැප්තැම්බර් 14 දා භාර දුන්නු වාර්තාව රවී සෙනවිරත්ත කොටුකරන අරමුණින් කල දෙයක් නම් ඡන්දයට කලින් ප්‍රසිද්ධ කරන්න ඕනි. නමුත් පසුගිය ආණ්ඩුව ගෙදර යන තුරුම මේ වාර්තාව ප්‍රසිද්ධ කලේ නෑ කියන එක අපි හැමෝම දන්නා කාරණාවක්. එහෙම නම් මේ වාර්තාව ප්‍රසිද්ධ නොකර හිටියේ ඇයි?

ශ්‍රේෂ්ඨාධිකරණය වැරදිකරු නොකළ රවි සෙනෙවිරත්න මහතාව මහාධිකරණ විනිසුරුවරියක් සභාපති වුණු කමිටුවකින් වැරදිකරු කරන්නේ කොහොමද කියලා ඇමතිතුමා ප්‍රශ්න කළා. උත්තරය හරි සරලයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ තිබුණේ මූලික අයිතිවාසිකම් නඩුවක්. ඒකේ පෙත්සමෙන් ඉදිරිපත් කළ කරුණු හරිද වැරදිද කියලා තමයි ශ්‍රේෂ්ඨාධිකරණය බැලුවේ. මූලික අයිතිවාසිකම් නඩුවේ මේ තොරතුරු නොතිබුණු නිසා සෙනෙවිරත්න මහතා ඒ නඩුවෙන් නිවැරදිකරු වුණා. නමුත් විමර්ශන කමිටුවකට පොලිසිය වගේ විමර්ශනය කරමින් අළුත් තොරතුරු සොයා බලන්න පුළුවන්.

සභාපති විනිසුරුතුමිය කාලයක් රස්සාවෙන් ඉවත් වී හිටියා. මේක පටන් ගත්තේ මාලිමා පොලිස් සාමුහිකය පිහිටුවූවාට පස්සේ. ශ්‍රේෂ්ඨාධිකරණය වැරදිකරු නොකළ කෙනාව මහාධිකරණ විනිසුරුවරියක් වැරදිකරු කරන්නේ කොහොමද යනාදි වශයෙන් කමිටුවට චෝදනා නගන විජිත හේරත් ඇමතිතුමා කමිටුවේ නිගමනය ගැන වචනයක් වත් කතා කරන්නේ නෑ. අපි හෙලිදරව් කලේ සහරාන් විසින් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරන්න යන බවට බුද්ධි සේවාවෙන් ලැබුණු තොරතුර කිසිම පියවරක් නොගෙන දින 12ක් රවි සෙනෙවිරත්න මහතා භාරයේ තිබුණු බව ඇත්ත ද? බොරුද? ඒ නිසාම ප්‍රහාරය වලක්වා ගැනීමට නොහැකි වුණා කියන්නේ ඇත්තද? බොරුද? එවැනි සංවේදි තොරතුරක් දින 12ක් පියවර නොගෙන සිටියේ කාගේ බලපෑමට ද? ඒ සදහා රවී සෙනවිරත්ත මහතා වැරදිකරුද නිවැරදි කරුද? එසේ බලපෑම් කළ පුද්ගලයා කාදිනල්තුමා සොයන මහ මොලකරු වෙන්න බැරිද?

විජිත හේරත් ඇමතිතුමනි, හඳ පෙන්වන්න ඇඟිල්ල දිගු කලාම ඇඟිල්ල දිහා බලන්නේ නැතිව හඳ දිහා බලන්න පුරුදු වෙන්න. විනිසුරුතුමිය මීට කලින් ඉල්ලා අස් වී ඇත්ද? චෝදනාව නගන්නේ පොලිස් සාමුහිකය බිහි කිරීමට පෙර ද පසු ද යනාදි ප්‍රශ්න වලට උත්තර සොයන්නේ නැතිව කමිටුව නගන චෝදනා වලට රවි සෙනෙවිරත්න මහතා වැරදිකරු ද නිවැරදිකරුද කියන ප්‍රශ්නයට පිලිතුරු සොයන්න. රවී සෙනවිරත්ත මහ මොලකරුගේ උපදෙස් මත මේ ලිපියට පියවර නොගෙන දින 12 ක් ගතකලා නම් ඔහු පොලීසියේ ලොකු පුටුවේ තබාගෙන එතුමන්ලා අලුතින් කරන පරීක්ෂණ විමර්ෂණ තවත් මහජන මුදල් නාස්තියක් වෙන එක වලක්වන්න කාටවත් බෑ.

ඒ වගේම ජනාධිපති කමිටු වාර්තාවේ නිගමන ආණ්ඩුව පිලි ගන්නේ නැතිනම් මාධ්‍ය හමු වල කියන්නේ නැතිව අභියාචනාධිකරණයට ගොස් මේ නිගමනවල තිබෙන නීතිමය වැරැද්ද පෙන්වා දීලා මේ නිගමන බල ශූන්‍ය කර ගන්න කියලා ආණ්ඩුවට සිහිපත් කරනවා.

මට පහර දෙන එකෙන්වත් විනිසුරුවරියන්ට පහර දෙන එකෙන්වත් රවී සෙනවිරත්ත මහතාගේ නොසැලකිල්ල මත මේ මහා අපරාධය වුනා කියනක චෝදනාව වෙනස් වෙන්නේ නෑ. ඒ චෝදනාවේ ඇත්ත නැත්ත සෙවීම ජාතික ආරක්ෂාවට සහ පොලීසියේ යුක්තිය ඉටුවීමේ ක්‍රියාවලියටත් අතිශයින්ම වැදගත් කියලා ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක වගේම මහජන ආරක්ෂාව භාර අමාත්‍ය විජිත හේරත් මහතාට මම සිහිපත් කරනවා.

What's your reaction?

Related Posts

1 of 453

Leave A Reply

Your email address will not be published. Required fields are marked *