විද්‍යාව සහ සාමාන්‍ය ජනතාව අතර පවතින සබඳතාව තහවුරු කරමින් “පුරවැසි විද්‍යා කේන්ද්‍රය” (Citizen Science Cell) පිහිටුවීමේ සමාරම්භක උත්සවය අද (17) තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාක් හෝටලයේදී පැවැත්විණි. විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩසටහන, මෙරට නවෝත්පාදන සහ තිරසර සංවර්ධන ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සැලකේ.මෙම මධ්‍යස්ථානය හරහා ක්‍රියාත්මක වන “පුරවැසි විද්‍යා” සංකල්පය මගින් විද්‍යාත්මක පර්යේෂණ ක්‍රියාවලිය සඳහා සාමාන්‍ය ජනතාව සෘජුවම සම්බන්ධ කර ගැනීම සිදු කෙරේ. විශේෂයෙන්ම පරිසර සංරක්ෂණය, ජෛව විවිධත්ව නිරීක්ෂණය සහ දේශගුණික විපර්යාස වැනි ක්ෂේත්‍ර පිළිබඳ දත්ත රැස් කිරීමටත්, ඒවා විශ්ලේෂණය කිරීමටත් මහජන සහභාගිත්වය ලබා ගැනීම මෙහි මූලික අරමුණයි.ශ්‍රී ලංකාව පුරා විසිරී ඇති විදාතා සම්පත් මධ්‍යස්ථාන ජාලය මුල් කරගනිමින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අමාත්‍යාංශය සැලසුම් කර ඇත. ජංගම දුරකථන යෙදුම් සහ අන්තර්ජාල වේදිකා වැනි නවීන තාක්ෂණය භාවිත කරමින් පාසල් සිසුන්, ගොවීන් සහ පරිසර හිතකාමීන් ඇතුළු විවිධ කණ්ඩායම් රැස් කරන දත්ත විද්‍යාඥයන් සමඟ බෙදා ගැනීමට මෙහිදී අවස්ථාව සැලසේ.දැනට ක්‍රියාත්මක ‘Clean Sri Lanka’ වැඩසටහනට සමගාමීව, ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සහ දේශගුණික විපර්යාස හමුවේ ඇති වන ආපදා පාලනය සඳහා අවශ්‍ය තාක්ෂණික දත්ත රැස් කිරීම ද මෙමගින් සිදු කෙරේ. ගම් මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා විද්‍යාත්මක දැනුම ව්‍යාප්ත කිරීම හරහා තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට මෙය ශක්තිමත් පදනමක් වනු ඇත.ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලයේ තිරසර සංවර්ධන ප්‍රතිසංස්කරණ මධ්‍යස්ථානයේ මූල්‍ය දායකත්වයෙන් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සඳහා දේශීය විශ්ව විද්‍යාල, පරිසර සහ අධ්‍යාපන අමාත්‍යාංශවල තාක්ෂණික සහයෝගය හිමි වේ. විද්‍යාව කෙරෙහි ජනතාව තුළ කුතුහලය සහ වගකීම වර්ධනය කරමින් රටේ විද්‍යාත්මක ප්‍රගතිය ඉහළ නැංවීමට මෙම නව කේන්ද්‍රය ඉවහල් වනු ඇත.


























