විදුලි කාර්මික වෘත්තියට NVQ සහතිකය අනිවාර්ය කෙරේ – 2026 සිට නව රෙගුලාසි බලාත්මකයි

මෙරට විදුලි පද්ධතිවල ආරක්ෂාව සහ සේවා ප්‍රමිතිය උසස් කිරීමේ අරමුණින්, විදුලි කාර්මිකයන් සඳහා වන නව බලපත්‍ර ක්‍රමය මේ වසරේ සිට ක්‍රියාවට නංවන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) නිවේදනය කරයි. ශ්‍රී ලංකා ඉංජිනේරු සභාව විසින් නිකුත් කර ඇති විශේෂ ගැසට් පත්‍රයකට අනුව, 2026 වසරේ සිට ජාතික විදුලි බල පද්ධතියට සම්බන්ධ කෙරෙන නිවාස සහ ගොඩනැගිලිවල විදුලි රැහැන් පද්ධති ස්ථාපනය කිරීම සඳහා සුදුසුකම් ලත් විදුලි කාර්මිකයෙකු වීම අනිවාර්ය වේ.​නව රෙගුලාසිවලට අනුව, 2026 සිට 2029 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ විදුලි කාර්මිකයෙකු ලෙස පිළිගැනීමට නම් අවම වශයෙන් ජාතික වෘත්තීය සුදුසුකම් 3 වන මට්ටම (NVQ 3) සපුරා තිබිය යුතුය. එමෙන්ම 2030 වසරේ සිට මෙම අවම සුදුසුකම NVQ 4 මට්ටම දක්වා ඉහළ නංවන බවද එම ගැසට් පත්‍රයේ සඳහන් වේ. මින් ඉදිරියට ලංකා විදුලි බල මණ්ඩලය හෝ ලංකා විදුලි පුද්ගලික සමාගම විසින් ලබාදෙන නව විදුලි සබඳතා සඳහා බලපත්‍රලාභී සුදුසුකම් ලත් කාර්මික ශිල්පියෙකුගේ සහතිකය අත්‍යවශ්‍ය වනු ඇත.​දැනට වෘත්තියේ නියැලෙන නමුත් NVQ සුදුසුකම් නොමැති කාර්මිකයන් සඳහා විශේෂ සහන වැඩපිළිවෙළක්ද මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් හඳුන්වා දී ඇත. ඒ යටතේ පෙර දැනුම ඇගයීමේ ක්‍රමය (Recognition of Prior Learning – RPL) ඔස්සේ ඔවුන්ගේ පළපුරුද්ද සැලකිල්ලට ගනිමින් NVQ 3 සහතිකය ලබා ගැනීමට අවස්ථාව සලසා දී තිබේ. මෙහිදී විභාග ගාස්තු ගෙවීමට ඇති අපහසුතා සැලකිල්ලට ගනිමින් ඒ සඳහා මූල්‍ය දායකත්වය ලබා දීමටද කොමිෂන් සභාව පියවර ගෙන ඇත. මෙම නව වැඩපිළිවෙළ හරහා මෙරට විදුලි කාර්මික වෘත්තිය ජාත්‍යන්තර ප්‍රමිතියකට අනුව නියාමනය කිරීමට අපේක්ෂිතය.

What's your reaction?

Related Posts

1 of 981

Leave A Reply

Your email address will not be published. Required fields are marked *