විදුලි බල මණ්ඩලය ඈවර කිරීමට එරෙහිව දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක්

ලංකා විදුලි බල මණ්ඩලය ඈවර කිරීමේ දිනය ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනය නිකුත් කළහොත්, පූර්ව දැනුම් දීමකින් තොරව ක්ෂණික වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව විදුලි බල ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති අනතුරු අඟවයි. විදුලි බල ඉංජිනේරු සංගමය ඇතුළු ප්‍රධාන වෘත්තීය සමිති 24ක නියෝජිතයින් එක්ව අත්සන් කරන ලද විශේෂ ලිපියක් මගින් මේ බව විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා වෙත නිල වශයෙන් දැනුම් දී ඇත.​මෙම අර්බුදයට මූලික හේතුව වී ඇත්තේ සේවක අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් වෘත්තීය සමිති ඉදිරිපත් කළ ඉල්ලීම් 8ක් සම්බන්ධයෙන් බලධාරීන් මෙතෙක් නිසි අවධානයක් යොමු නොකිරීමයි. පසුගිය ජනවාරි 12 වනදා අදාළ ඉල්ලීම් ඇතුළත් ලිපියක් අමාත්‍යවරයා වෙත මුලින්ම යොමු කර තිබුණද, ඒ සඳහා මේ දක්වා කිසිදු සාධනීය හෝ පිළිගත හැකි ප්‍රතිචාරයක් ලැබී නොමැති බව සේවක පාර්ශවය පෙන්වා දෙයි.​තම ඉල්ලීම් සම්බන්ධයෙන් පවතින නිහඬතාවය හේතුවෙන් ඊයේ (09) දිනයේදී ද අමාත්‍යවරයා වෙත තවත් සිහිපත් කිරීමේ ලිපියක් යොමු කිරීමට වෘත්තීය සමිති පියවර ගෙන තිබේ. එහි සඳහන් වන්නේ සාධාරණ විසඳුම් ලබාදීමට රජය අපොහොසත් වීම නිසා, වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීම වෙනුවෙන් දැඩි ක්‍රියාමාර්ගයකට එළඹීම හැර වෙනත් විකල්පයක් සේවකයින් සතුව නොමැති බවයි.​ඒ අනුව, සේවක ගැටලුවලට විසඳුම් ලබාදීමට පෙර විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ හෝ ඈවර කිරීමේ පියවරක් ලෙස ගැසට් නිවේදනය නිකුත් වුවහොත්, එම මොහොතේ සිටම වැඩවර්ජන ඇතුළු දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කරන බව වෘත්තීය සමිති සන්ධානය අවධාරණය කරයි. මෙය ඉදිරි දිනවලදී දිවයිනේ විදුලි සැපයුමට සෘජුව බලපෑම් එල්ල කළ හැකි තීරණාත්මක තත්ත්වයක් බවට පත්ව තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,007

Leave A Reply

Your email address will not be published. Required fields are marked *