මැතිවරණ සමයේ රාජ්‍ය ආයතන සුරක්ෂිත කරන බවට පොරොන්දු වූ වත්මන් රජය, අද වන විට ලංකා විදුලි බල මණ්ඩලය විනාශ කිරීමේ ක්‍රියාවලිය නිල වශයෙන් ආරම්භ කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ රජය එදා පෞද්ගලිකකරණයට එරෙහිව මතවාද ඉදිරිපත් කළද, බලය ලබාගත් පසු විදුලි බල මණ්ඩලයේ අවසානය සනිටුහන් කරමින් සිටින බව ඔහු විශේෂ ප්‍රකාශයක් කරමින් අවධාරණය කළේය.විදුලි බල ක්ෂේත්රය යනු රටේ ජාතික ආරක්ෂාවට සෘජුවම බලපාන සංවේදී සාධකයක් බව පෙන්වා දෙන විපක්ෂ නායකවරයා, මෙවැනි ආයතනයක් ප්‍රතිව්‍යුහගත කිරීමේදී මීට වඩා වගකීමකින් සහ විනිවිදභාවයකින් කටයුතු කළ යුතු බව සඳහන් කරයි. එදා සේවකයින් 23,000ක් මහ පාරට බස්සවා ආයතනය සුරකින බවට දුන් පොරොන්දු අද වන විට පාලකයින්ට අමතක වී ඇති බවට ද ඔහු චෝදනා කළේය.ආයතනික ප්‍රතිසංස්කරණ සිදුකිරීමේදී අදාළ සේවක පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර ඔවුන්ගේ රැකියා සුරක්ෂිතතාව තහවුරු කළ යුතු වුවත්, රජය මේ වන විට ඒකපාර්ශ්වික තීන්දු ගනිමින් සිටින බව ඔහු පවසයි. සේවකයින්ගේ අනාගතය පිළිබඳ තැකීමක් නොකර, ඔවුන් බිල්ලට දී ලබාගත් දේශපාලන බලය හරහා රජය අත්තනෝමතික ලෙස ක්‍රියා කරන බව විපක්ෂ නායකවරයා මෙහිදී පෙන්වා දුන්නේය.දශකයකට පමණ පෙර මෙවැනි ප්‍රතිසංස්කරණවලට දැඩිව විරුද්ධ වූ පිරිස් අද ජනවරම පාවා දෙමින් සිටින බවත්, නොරොච්චෝල බලාගාරය සම්බන්ධයෙන් ගත් තීන්දු මෙන්ම විදුලි බල මණ්ඩලය කැබලිවලට වෙන් කිරීමේ ව්‍යාපෘතිය ද මෙරට බලශක්ති ක්ෂේත්රය බරපතළ අනතුරක හෙළීමක් බවත් ඔහු සඳහන් කළේය. මෙය ජනතාව බලාපොරොත්තු වූ සැබෑ “ක්රමයේ වෙනස” නොවන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.විදුලි බල මණ්ඩලයේ සේවකයින් 23,000කගේ අනාගතය අඳුරට ඇද දමමින් සිදුකරන මෙම විනාශකාරී ක්‍රියාවලියට තවදුරටත් නොරැවටෙන ලෙස විපක්ෂ නායකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී. රජය තමන්ට හිමි වූ බලය භාවිතා කළ යුත්තේ රාජ්‍ය දේපළ විනාශ කිරීමට නොව ඒවා ආරක්ෂා කිරීමට බවත්, පවතින තත්ත්වය මත සමස්ත බලශක්ති ක්ෂේත්රයම අර්බුදයකට ලක්ව ඇති බවත් ඔහු අවධාරණය කළේය.

























