මෙම වසරේ දෙවන කාර්තුව සඳහා වන විදුලි ගාස්තු සංශෝධනයට මහජන උපයෝගීතා කොමිසමේ ඒකමතික අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව, ලබන අප්‍රේල් මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නව ගාස්තු ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත. ලංකා විදුලිබල මණ්ඩලය විසින් පසුගිය පෙබරවාරි මාසයේදී ඉදිරිපත් කළ 13.56%ක සමස්ත ගාස්තු සංශෝධනය කිරීමේ යෝජනාවට සාපේක්ෂව, විවිධ පාරිභෝගික කාණ්ඩ යටතේ මෙම වෙනස්කම් සිදු කර ඇති බව වාර්තා වේ.නව සංශෝධනයට අනුව, අඩු ඒකක ප්‍රමාණයක් භාවිතා කරන පාරිභෝගිකයින් සඳහා සුළු වෙනසක් සිදු කර ඇති අතර, ඒකක 30ට අඩු කාණ්ඩය සඳහා 4.3%ක සංශෝධනයක් (රුපියල් 15ක වැඩි වීමක්) සිදු වේ. ඒකක 31ත් 60ත් අතර කාණ්ඩය සඳහා 6.9%ක සංශෝධනයක් සිදු කර ඇති අතර, එය මාසිකව රුපියල් 45ක අගයකි. මීට අමතරව ඒකක 61-91 අතර 6.9%කින් ද, ඒකක 91-180 අතර කාණ්ඩ තුන සඳහා 7.2%ක ප්‍රතිශතයකින් ද ගාස්තු සංශෝධනය වනු ඇත.කෙසේ වෙතත්, වැඩි විදුලි ඒකක ප්‍රමාණයක් වැය කරන පාරිභෝගිකයින්ට මෙමඟින් සැලකිය යුතු බලපෑමක් එල්ල වන බව පෙනී යයි. විශේෂයෙන්ම ඒකක 180කට වඩා වැඩි පරිභෝජනයක් සහිත කාණ්ඩය සඳහා 25%ක ඉහළ ගාස්තු සංශෝධනයක් ප්‍රකාශයට පත් කර ඇත. මෙම නව මිල ගණන් අප්‍රේල් පළමුවැනිදා සිට බලපැවැත්වෙන බැවින්, උත්සව සමයේ පාරිභෝගිකයින්ට තම විදුලි පරිභෝජනය පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමට සිදු වනු ඇත.























