විදුලි ගාස්තු ඉහළ නැංවීම සඳහා රජය ගල් අඟුරු අර්බුදය පලිහක් කරගෙන ඇති බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා චෝදනා කරයි. 2025 ජනවාරි වන විටත් විදුලි බල මණ්ඩලය රුපියල් මිලියන ගණනක ලාභයක් ලබා තිබියදී, මෙලෙස අසාධාරණ ලෙස ගාස්තු වැඩි කිරීම ගැටලුසහගත බව ඒ මහතා පෙන්වා දෙයි. විශේෂයෙන්ම වර්ෂා කාලයේදී ඉන්ධන භාවිතයකින් තොරව විදුලිය උත්පාදනය කළ අවස්ථාවල පවා ජනතාවට සහනයක් ලබානොදී, ගල් අඟුරු පාඩුව ඉන්ධන මත පටවමින් පාරිභෝගිකයා ගසාකෑමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක වන බව ඔහු අවධාරණය කළේය.විදුලි බිල දරාගත නොහැකි නම් ඒ පිළිබඳව දැනුම් දෙන ලෙස මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා පවසන ප්‍රකාශය හාස්‍යජනක බව පවසන ආනන්ද පාලිත මහතා, කොමිසම මැදිහත් විය යුත්තේ ජනතාව පීඩාවට පත් කරන මෙවැනි තීරණ වැළැක්වීමට බව ප්‍රකාශ කළේය. තාක්ෂණික කරුණු මුවාවෙන් සිදුකරන මෙම ගාස්තු ඉහළ නැංවීම හරහා සාමාන්‍ය ජනතාව දැඩි ආර්ථික අර්බුදයකට ඇද දමා ඇති බවත්, පාලකයන් විසින් සිදුකරන වැරදි කළමනාකරණයේ වන්දිය ජනතාවට ගෙවීමට සිදුවී ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.






















