​විදුලිබල ක්ෂේත්‍රයේ නව පරිවර්තනය: සේවක අයිතීන් සුරකිමින් ප්‍රතිව්‍යුහගතකරණය අවසන්

මෙරට විදුලිබල ක්ෂේත්‍රයේ ඓතිහාසික හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින්, එහි ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු සාර්ථකව නිම කළ බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ප්‍රකාශ කරයි. අලුතින් පිහිටුවන ලද ආයතනවල නිලධාරීන් සහ සේවකයින් සූම් (Zoom) තාක්ෂණය ඔස්සේ අමතමින් අමාත්‍යවරයා අවධාරණය කළේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යන දැක්ම සාක්ෂාත් කර ගැනීමට සියලු දෙනා කැපවිය යුතු බවයි.​පසුගිය රජය විදුලිබල මණ්ඩලය කොටස් 12කට කඩා පෞද්ගලික අංශයට පැවරීමට ගත් උත්සාහයන් වත්මන් රජය විසින් අත්හිටුවා ඇති බව මෙහිදී අනාවරණය විය. ඒ වෙනුවට සියයට සියයක්ම රාජ්‍ය හිමිකාරීත්වය සහිත සමාගම් පිහිටුවමින්, විදුලිබල ක්ෂේත්‍රයේ රජයේ පාලනය තහවුරු කිරීමටත් අනාගත අභියෝග ජය ගැනීමට අවශ්‍ය ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කිරීමටත් පියවර ගෙන තිබේ.​වැඩකරන ජනතාවගේ රජයක් ලෙස සේවක අයිතිවාසිකම්වලට ප්‍රමුඛතාව ලබා දී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් භුක්ති විඳි සියලු වරප්‍රසාද සහ අයිතීන් අබමල් රේණුවක තරම් හෝ ප්‍රමාණයකින් අඩු නොකර නව ආයතන ව්‍යුහය තුළ ද ඒ අයුරින්ම ලබා දීමට රජය වගකීමෙන් බැඳී සිටින බව ඔහු සහතික විය.​පසුගිය කාලසීමාව පුරා සේවකයින් ඉදිරිපත් කළ විවිධ ඉල්ලීම් සහ දුක්ගැනවිලි බොහොමයක් ඉටු කිරීමට රජය කටයුතු කර ඇත. ඇතැම් ඉල්ලීම් වෘත්තීය සමිති මගින් ඉදිරිපත් කිරීමටත් ප්‍රථමයෙන් ඒවා හඳුනාගෙන විසඳුම් ලබා දීමට රජය ක්‍රියා කළ බවත්, වෘත්තීය සමිති සමඟ නිරන්තරයෙන් සාකච්ඡා කරමින් ඔවුන්ගේ හඬට සවන් දීමට රජය සැමවිටම සූදානම් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.​මෙම ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට දායක වූ සැමට ස්තූතිය පළ කළ අමාත්‍යවරයා, නව ආයතනික ව්‍යුහය තුළ ලැබෙන අවස්ථා උපරිමයෙන් ප්‍රයෝජනයට ගන්නා ලෙස සේවක මණ්ඩලයෙන් ඉල්ලා සිටියේය. මෙය ජාතික කර්තව්‍යයක් ලෙස සලකා රටේ බලශක්ති ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරන ලෙස ඔහු එහිදී ආරාධනා කළේය.

What's your reaction?

Related Posts

1 of 1,042

Leave A Reply

Your email address will not be published. Required fields are marked *