විදෙස්ගතව සිටි ලාංකික සිසුවාට වෛද්‍ය පීඨ වරම් දෙන්න – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් UGC වෙත නියෝගයක්!

ශ්‍රී ලංකාවේ අ.පො.ස. උසස් පෙළ විභාගයට සමාන ඉන්දීය විභාගයකින් සුදුසුකම් ලැබූ සිසුවෙකුට මෙරට රජයේ වෛද්‍ය පීඨයකට ඇතුළත් වීමට අවස්ථාව ලබා නොදීම තුළින් ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය, ඔහුව වහාම වෛද්‍ය පීඨයකට ඇතුළත් කරගන්නා ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට (UGC) පසුගිය බ්‍රහස්පතින්දා (05) නියෝග කළේය. කොළඹ බොරැල්ල ප්‍රදේශයේ පදිංචි මෙම සිසුවා මෙරටදී සාමාන්‍ය පෙළ සමත්වීමෙන් පසු, තම පියාට රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ධූරයක් ලැබීම හේතුවෙන් එරටට ගොස් තිබුණි. එහිදී ඔහු ඉන්දියාව, පකිස්ථානය සහ බංග්ලාදේශය වැනි රටවල සිසුන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ පාසල් සහතික පත්‍ර විභාගය සමත්ව තිබූ අතර එය මෙරට උසස් පෙළට සමාන බව අධිකරණයේදී තහවුරු විය.​විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පවතින නීති අනුව විදේශගත සිසුන් මෙරට විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමේදී වසර තුනක කාලයක් අඛණ්ඩව විදේශයක අධ්‍යාපනය ලබා තිබීම අනිවාර්ය වේ. එහෙත් ආරක්ෂක උපදේශකවරයකු ලෙස තම පියාට හිමිවූයේ වසර දෙකක සේවා කාලයක් පමණක් බැවින් තමාට එම කොන්දේසිය සපුරාලීමට කිසිසේත් නොහැකි බවත්, එමගින් තම අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත් සිසුවා තර්ක කළේය. කරුණු සලකා බැලූ අර්ජුන ඔබේසේකර, ජනක ද සිල්වා සහ සෝභිත රාජකරුණා යන විනිසුරු මඩුල්ල තීන්දු කළේ, ආරක්ෂක උපදේශකවරුන්ගේ දරුවන් සම්බන්ධයෙන් මෙම වසර තුනක අනිවාර්ය කොන්දේසිය පැනවීම අතාර්කික බවයි. පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ නිශිකා ෆොන්සේකා සමඟ නීතිඥ හෆීල් ෆාරිස් මහතා පෙනී සිටි අතර, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ගංගා වාකිෂ්ඨාරච්චි මහත්මිය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටියාය.

What's your reaction?

Related Posts

1 of 1,003

Leave A Reply

Your email address will not be published. Required fields are marked *