ජාත්‍යන්තර ටෙනිස් සම්මේලනය (ITF) සංවිධානය කරනු ලබන ලෝක කනිෂ්ඨ ටෙනිස් තරගාවලියේ තේරීම් තරග සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අද උදෑසන වියට්නාමය බලා පිටත්ව ගියේය. අවුරුදු 14න් පහළ වයස් කාණ්ඩය යටතේ පැවැත්වෙන මෙම තීරණාත්මක තරගාවලිය සඳහා රටවල් 20ක දක්ෂ ක්‍රීඩකයින් එක්වන අතර, තරග මාර්තු මස 09 වැනිදා සිට 14 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත. මෙම සංචාරයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම කොළඹ ටෙනිස් සංගම් ක්‍රීඩාංගණයේදී විශේෂ පුහුණු සැසියකට ද එක්වෙමින් සිය සූදානම තහවුරු කළහ.මෙවර ශ්‍රී ලංකා සංචිතය දිවයිනේ ප්රමුඛ පෙළේ පාසල් නියෝජනය කරන දක්ෂ ක්‍රීඩකයින් සිව්දෙනෙකුගෙන් සමන්විත වේ. ඒ අනුව ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ රෙවාන් අමරසිංහ, කුරුණෑගල මලියදේව විද්‍යාලයේ බුවිදු ජයවර්ධන, බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයේ චිරාත් සුභසිංහ සහ මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලයේ නුරේන් වෑවිට මෙලෙස රට නියෝජනය කරති. කණ්ඩායමේ පුහුණුකරු ලෙස ෂෙහාන් ප්‍රනාන්දු මහතා කටයුතු කරනු ලබයි.වියට්නාමයේ පැවැත්වෙන මෙම මූලික තේරීම් තරගාවලිය ශ්‍රී ලංකාවට ඉතා තීරණාත්මක වන්නේ, මෙහිදී දස්කම් දක්වන හොඳම කණ්ඩායම් දෙකට පමණක් මැලේසියාවේදී පැවැත්වෙන අවසන් තේරීම් තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමට අවස්ථාව හිමිවන බැවිනි. දක්ෂ ක්‍රීඩකයින් රැසකගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර පෙරළිකාර ජයග්‍රහණයක් වාර්තා කරනු ඇතැයි ක්‍රීඩා ලෝලීහු බලාපොරොත්තු වෙති.























