විශ්වවිද්‍යාල සංශෝධන පනත බලාත්මකයි: පීඨාධිපති සහ අංශ ප්‍රධානී තේරීමේ නව නීති රීති

කථානායක ජගත් වික්‍රමරත්න මහතා විසින් විශ්වවිද්‍යාල (සංශෝධන) පනත් කෙටුම්පතට අද (03) දින සිය සහතිකය සටහන් කරන ලදී. ඒ අනුව 2026 අංක 2 දරන විශ්වවිද්‍යාල (සංශෝධන) පනත මෙරට නීතියක් ලෙස නිල වශයෙන් බලාත්මක වන බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නිවේදනය කළේය. 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත සංශෝධනය කරමින් සකස් කරන ලද මෙම නව පනත් කෙටුම්පත පසුගිය ජනවාරි 23 වැනිදා කිසිදු ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත විය.​මෙම නව පනත මගින් විශ්වවිද්‍යාල පාලන ව්‍යුහය තුළ තීරණාත්මක වෙනස්කම් රැසක් සිදු කර ඇත. ඒ අනුව, ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන්, මහාචාර්යවරුන්, සහාය මහාචාර්යවරුන් සහ පළමු ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් අතරින් පීඨාධිපතිවරයෙකු තේරී පත් කර ගැනීමේ බලය පීඨ මණ්ඩල වෙත හිමි වේ. එමෙන්ම, නිල කාලය අවසන් වීමට පෙර පීඨාධිපතිවරයෙකු ධුරයෙන් ඉවත් කිරීමට විශ්වවිද්‍යාල පාලක සභාවට බලය පැවරෙන අතර, එම ධුරය දැරිය හැකි කාල සීමාවන් ද මෙහිදී අලුතින් හඳුන්වා දී ඇත.​අධ්‍යයන අංශ ප්‍රධානීන් පත් කිරීමේ ක්‍රියාවලිය වඩාත් පැහැදිලිව නිර්වචනය කර ඇති මෙම පනත මගින්, අවශ්‍යතාවයක් වුවහොත් නිල කාලය අවසන් වීමට පෙර අංශ ප්‍රධානීන් ඉවත් කිරීමට ද පාලක සභාවට බලය ලබා දී තිබේ. අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍යවරිය විසින් පසුගිය දෙසැම්බර් 03 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද මෙම පනත, මෙරට විශ්වවිද්‍යාල පද්ධතියේ පරිපාලන විනිවිදභාවය ඉහළ නැංවීමට ගත් පියවරක් ලෙස සැලකේ.

What's your reaction?

Related Posts

1 of 997

Leave A Reply

Your email address will not be published. Required fields are marked *