වෛද්‍ය වර්ජනය මැද රෝහල් සේවා පවත්වාගෙන යෑමට විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු පිරිසකගෙන් සහය

පශ්චාත් සීමාවාසික පත්වීම් ගැටලුවක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) අද (09) පෙරවරු 8.00 සිට පැය 48ක දීපව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ. පසුගිය සතියේ ද මෙවැනිම වර්ජනයක නිරත වූ ඔවුන්, දින කිහිපයක විවේකයකින් පසු යළිත් සේවයෙන් බැහැර වීමට තීරණය කිරීමත් සමඟ රෝහල් පද්ධතියේ කටයුතු අඩාල වීමේ අවදානමක් මතු විය. කෙසේ වෙතත්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අයත් නොවන වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් සේවයට වාර්තා කිරීම හේතුවෙන් රෝහල් රැසක ප්‍රතිකාර සේවා බිඳ වැටීමකින් තොරව සිදු කෙරෙන බව වාර්තා වේ.​මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් රෝගී ජනතාව මෙන්ම වෛද්‍ය ක්ෂේත්‍රයේම පිරිස් දැඩි විවේචන එල්ල කරති. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් විශේෂඥ වෛද්‍ය ආර්. ඥාණසේකරම් මහතා අවධාරණය කළේ තම සංගමය මෙම වර්ජනයට කිසිසේත්ම සහය නොදක්වන බවයි. මේ අතර, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේම සාමාජිකයන් පිරිසක් පෞද්ගලිකව අදහස් දක්වමින් කියා සිටියේ, අඛණ්ඩව වර්ජන ක්‍රියාත්මක කිරීම තුළින් අසරණ රෝගීන්ගේ ජීවිත අනතුරේ හෙළීම අසාධාරණ බවත් තමන් එම තීරණය අනුමත නොකරන බවත්ය.​වර්ජනය පැවතිය ද හිඟුරක්ගොඩ සහ දික්ඔය වැනි ප්‍රධාන රෝහල් රැසක වෛද්‍යවරුන් රෝගී සත්කාර සේවාවල නිරත වන අයුරු දැකගත හැකි විය. වෘත්තීය ක්‍රියාමාර්ග පසෙකලා මානුෂීය පදනමින් රෝගීන් පරීක්ෂා කර ඖෂධ නිකුත් කිරීමට එහි සිටි වෛද්‍යවරුන් කටයුතු කර තිබේ. මෙම කැපවීම හේතුවෙන් ඇතැම් රෝහල්වල බාහිර රෝගී අංශ සහ සායන කටයුතු යම් මට්ටමකින් පවත්වාගෙන යාමට හැකි වුවද, සමස්තයක් ලෙස රෝගී සත්කාරක සේවාවලට යම් බලපෑමක් එල්ල වී ඇත.​සේවා වර්ජනය හේතුවෙන් විශේෂයෙන් පානදුර ඇතුළු තවත් රෝහල් කිහිපයකට පැමිණි රෝගීහු දැඩි අපහසුතාවට පත්ව සිටිති. බාහිර රෝගී අංශයේ ප්‍රතිකාර ඇණහිටීම සහ සායන සඳහා පැමිණි ජනතාවට පැය ගණනාවක් පෝලිම්වල රැඳී සිටීමට සිදු වීම මෙයට ප්‍රධාන හේතුවයි. තම ඉල්ලීම් දිනා ගැනීමට රෝගීන්ගේ ජීවිත බිල්ලට දීම කිසිසේත්ම පිළිගත නොහැකි බව රෝහල් කරා පැමිණි රෝගීහු මැසිවිලි නගති.​පසුගිය 6 වනදා පෙරවරුවේ අවසන් වූ පෙර වර්ජනයෙන් පසු වෛද්‍යවරුන්ට රෝගීන් වෙනුවෙන් සේවය කිරීමට ලැබුණේ දින දෙකක් වැනි කෙටි කාලයක් පමණි. එවන් පසුබිමක යළිත් වරක් අද සහ හෙට (10) දෙදින තුළ වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීම හරහා මහජනතාව දැඩි පීඩනයකට ලක්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග පෙන්වා දෙයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තුළම මතුව ඇති මෙම විරෝධාකල්ප හමුවේ ඉදිරි දිනවලදී වර්ජනයේ ස්වභාවය වෙනස් වනු ඇති බවට අනාවැකි පළ වේ.

What's your reaction?

Related Posts

1 of 1,087

Leave A Reply

Your email address will not be published. Required fields are marked *