වෛද්‍ය විශේෂඥයන්ගේ සංගමය (AMS) විසින් 2026 වසර සඳහා අවසන් කරන ලද වෛද්‍ය විශේෂඥ අන්ත තනතුරු (End Post) ලැයිස්තුවට අතිරේක තනතුරු දෙකක් ඇතුළත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු විසින් දරන ලදැයි කියන උත්සාහය පිළිබඳව සිය දැඩි කනස්සල්ල පළ කර ඇත. AMS පවසන පරිදි, මෙම ලැයිස්තුව දැනටමත් අවසන් කර රාජ්‍ය සේවා කොමිෂන් සභාව (PSC) වෙත යොමු කර තිබියදීත්, අදාළ නිලධාරියා ප්‍රමුඛ පෙළේ රජයේ රෝහල් දෙකකට නව අන්ත තනතුරු දෙකක් එක් කිරීමට පියවර ගෙන ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමු කළ ලිපියක් මගින් AMS සංගමය, මෙම ක්‍රියාව සේවා අවශ්‍යතා වෙනුවට පෞද්ගලික අවශ්‍යතා මත බලපෑම් කළ කුමන්ත්‍රණකාරී ක්‍රියාවක් ලෙස හෙළා දකින ලදී. සියලුම නව අන්ත තනතුරු අමාත්‍යාංශ ලේකම්වරයා විසින් පත් කරන ලද විශේෂඥ කමිටුව හරහා ඇගයීමට ලක් කර අනුමත කළ යුතු බවද සංගමය වැඩිදුරටත් සඳහන් කළේය. මෙම ක්‍රියාවලිය මඟ හැරීම ස්ථාපිත ක්‍රියාපටිපාටීන් කඩ කිරීමක් පමණක් නොව, අන්ත තනතුරු වෙන් කිරීමේ යාන්ත්‍රණයේ විනිවිදභාවය සහ විශ්වසනීයත්වය ද හීන කරන බව AMS අවධාරණය කළේය. මෙවැනි මැදිහත්වීම් විශේෂඥ කමිටු වාර්තාවේ බහුවිධ වගන්ති උල්ලංඝනය කරන බවත්, ස්ථාන මාරු මණ්ඩලයේ බලතල හීන කරන බවත්, 2026 අන්ත තනතුරු ලැයිස්තුව නිකුත් කිරීම සහ ඉන් අනතුරුව සිදු කෙරෙන වාර්ෂික ස්ථාන මාරු ක්‍රියාවලිය ප්‍රමාද කරන බවත්, එමගින් වෛද්‍ය විශේෂඥවරුන් සිය ගණනකට බලපෑම් ඇතිවිය හැකි බවත් AMS අනතුරු ඇඟවීය. රට පුරා විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතින බව අවධාරණය කරන අතරම, අදාළ කාණ්ඩ දෙක යටතේ එම රෝහල් දෙකෙහිම දැනටමත් ප්‍රමාණවත් තනතුරු ප්‍රමාණයක් ඇති බවද AMS පෙන්වා දුන්නේය. එකම ඒකකය තුළ ස්ථාන මාරු කළ හැකි තනතුරක් අන්ත තනතුරක් බවට පරිවර්තනය කිරීම සම්බන්ධයෙන් පවතින ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවකට (SC/FR/81/2025) ද මෙම ක්‍රියාව මැදිහත් වීමක් විය හැකි බවද ඔවුහු වැඩිදුරටත් පැවසූහ. අන්ත තනතුරු ලැයිස්තුවේ කිසිදු ආකාරයක manipulation එකකට විරුද්ධත්වය AMS නැවත අවධාරණය කළ අතර, ස්ථාන මාරු ක්‍රියාවලියේදී විනිවිදභාවය සහ සාධාරණත්වය තහවුරු කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.
























