ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ ශ්‍රී ලංකා රජය, 2024 ජූනි මාසයේදී කල්පිරෙන ඇමරිකානු ඩොලර් මිලියන 175 ක සහතික කළ බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමේ මූල්‍ය පරාමිතීන් සම්බන්ධයෙන් ඇඩ් හොක් බැඳුම්කර හිමියන්ගේ කණ්ඩායම (Ad Hoc Group of Bondholders) සමඟ මූලික එකඟතාවකට එළඹී ඇත.ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් පාර්ශව දෙක කියා සිටියේ, 2025 ඔක්තෝබර් 23 සහ නොවැම්බර් 19 අතර කාලය තුළ පැවති සාකච්ඡා වලින් පසුව, මෙම ඇඩ් හොක් කණ්ඩායමේ සාමාජිකයින් හය දෙනෙකු සමඟ එකඟතාවයට එළඹුණු බවයි. ශ්‍රී ලංකන් ගුවන් සේවය නියෝජනය කරමින් ඔවුන්ගේ මූල්‍ය හා නීති උපදේශකයින් වන Lazard සහ Norton Rose Fulbright LLP ද, බැඳුම්කර හිමියන්ගේ කණ්ඩායම නියෝජනය කරමින් Akin Gump Strauss Hauer & Feld ද මෙම සාකච්ඡාවලට එක්විය. බැඳුම්කර හිමියන්ගේ කණ්ඩායම විසින් මෙම ඩොලර් මිලියන 175ක සහතික කළ බැඳුම්කරවල සමස්ත හිඟ මුදලින් ආසන්න වශයෙන් 55%ක් පාලනය කරයි.මෙම මූලික වශයෙන් එකඟ වූ කොන්දේසි යටතේ, ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව ක්‍රියාත්මක කිරීමෙන් පසු, රජය සහතිකය යටතේ ඇති සිය වගකීමෙන් නිදහස් වන අතර, මහජන මුදල්වල දිගුකාලීන තිරසාරභාවය පවත්වා ගැනීමට සැලකිය යුතු ණය සහ ක්ෂණික ද්‍රවශීලතා සහනයක් හිමිවනු ඇත.එකඟ වූ කොන්දේසි යටතේ, බැඳුම්කරවල සම්පූර්ණ හිමිකම් මුදලින් 15%ක ණය අඩු කිරීමක් (haircut) මෙයට ඇතුළත් වන අතර, ඉතිරි ශේෂය 4%ක පොලී අනුපාතයක් සහිත මුදල් සහ මධ්‍ය කාලීන රජයේ බැඳුම්කර සංයෝගයක් සඳහා හුවමාරු කරනු ඇත.මෙම මූලික වශයෙන් එකඟ වූ ප්‍රතිව්‍යුහගත කිරීමේ කොන්දේසි, ශ්‍රී ලංකාවේ සමස්ත පොදු ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සන්දර්භය තුළ රජය විසින් ලබා දී ඇති කැපවීම් අනුව, ශ්‍රී ලංකා අමාත්‍ය මණ්ඩලයේ අවසන් අනුමැතියට මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි (IMF) සහ නිල ණය හිමි කමිටුවේ (Official Creditor Committee) විරෝධතාවක් නොමැති බවට තහවුරු කිරීමට යටත් වේ.ශ්‍රී ලංකාවේ දිගුකාලීන ණය තිරසාරභාවයට අනුකූල වීම සහතික කිරීම සඳහා මෙම මූලික එකඟ වූ කොන්දේසි නිල ණය හිමි කමිටුවට මෙන්ම IMF වෙත දැනුම් දී ඇත. ඔවුන්ගේ තහවුරු කිරීමෙන් පසු, වසර අවසන් වීමට පෙර ගනුදෙනුව ක්‍රියාත්මක කිරීමට හැකි වනු ඇතැයි පාර්ශව අපේක්ෂා කරයි. මෙම මූලික එකඟ වූ කොන්දේසි ක්‍රියාත්මක කිරීම මඟින් සමාගමට එහි බාහිර ණය හිමියන් සමඟ ඇති සබඳතා සම්පූර්ණයෙන් සාමාන්‍යකරණය කිරීමට සහ එහි මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යාම කෙරෙහි අවධානය යොමු කිරීමට හැකි වනු ඇත.























