ශ්‍රී ලංකන් හිටපු CEO කපිල චන්ද්‍රසේනගෙන් අල්ලස් කොමිසම බලහත්කාරයෙන් ප්‍රකාශ ගත් බවට චෝදනා – නඩුව 19 දා

​ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් ඔහුට බලපෑම් කර ඇති බවට ඉදිරිපත් වූ මෝසමක් ලබන 19 වනදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ සලකා බැලීමට නියම විය. එදිනට අදාළ නඩුව කැඳවීමට නියමිතව තිබූ අතර, ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙනුවෙන් පෙනී සිටි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.​සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රියන්සි අර්සකුලරත්න මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ, මාර්තු 12 වනදා ප්‍රකාශයක් ලබා දීමට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි අවස්ථාවේදී තම සේවාදායකයා නිලධාරීන්ගේ දැඩි බලපෑම්වලට ලක්වූ බවයි. මීට පෙර සැකකරු අත්අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ද මෙම තර්ජනය කිරීම් පිළිබඳව කරුණු ඉදිරිපත් කළ බවත්, මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට හැකි ඉක්මනින් අවස්ථාවක් ලබාදෙන ලෙසත් නීතීඥවරයා මෝසම මගින් ඉල්ලා සිටියේය. දැනට රිමාන්ඩ් භාරයේ පසුවන සැකකරුගේ ඉල්ලීම පරිදි මෙම මෝසම ඉදිරිපත් කෙරිණි.​කපිල චන්ද්‍රසේන මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ එයාර්බස් යානා මිලදී ගැනීමේ ප්‍රසම්පාදන කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී සිය බිරිඳ ඇතුළු පිරිසක් සමඟ එක්ව අල්ලස් ලබාගැනීමට කුමන්ත්‍රණය කළ බවට එල්ල වූ චෝදනා මතය. බෲනායි රාජ්‍යයේ සිය බිරිඳගේ නමින් ව්‍යාජ සමාගමක් අරඹා සිංගප්පූරුවේ බැංකු ගිණුමක් හරහා මෙම අල්ලස් මුදල් ලබාගෙන ඇති බවට ඔහුට එරෙහිව වැඩිදුරටත් චෝදනා එල්ල වී ඇත.

What's your reaction?

Related Posts

1 of 1,051

Leave A Reply

Your email address will not be published. Required fields are marked *