ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු ප්‍රධාන මූල්‍ය නිලධාරියා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ඇමෙරිකානු ඩොලර් 187,000ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා එල්ල වී ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු ප්‍රධාන මූල්‍ය නිලධාරී පියල් නන්දන දිසානායක මහතා අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද වරෙන්තු නිකුත් කළේය. මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් 2018 වසරේදී ගොනු කරන ලද නඩුවකට අදාළව මෙම නියෝගය නිකුත් විය. සැකකරු නඩුවේ මුල් අවධියේදී අධිකරණය හමුවේ පෙනී සිටියද, පසුව විදේශගත වීමට අවසර ලබාගෙන තිබූ අතර පසුගිය වසර දෙකක කාලය තුළ 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 192 වගන්තිය ප්‍රකාරව ඔහු නොමැතිව නඩු විභාගය පවත්වාගෙන යාමට නීතිඥ සහාය ලබා දී තිබුණි.​මෙහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ, තම සේවාදායකයා විසින් පැමිණිලි පාර්ශ්වයට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලකට අනුව ඔහු නිර්දෝෂී බව ඔප්පු වී ඇති බැවින් ඔහුව නඩුවෙන් නිදහස් කරන ලෙසයි. එසේම ඔහු අධිකරණය මඟහැර නොමැති බවත් විදේශගතව සිටියේ අධිකරණ අවසරය මත බවත් නීතිඥවරයා අවධාරණය කළේය. කෙසේ වෙතත්, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ, නඩුව නීතිපති උපදෙස් සඳහා යොමු කර ඇති බැවින් සැකකරුට තවදුරටත් අධිකරණයට පැමිණීමෙන් වැළකී සිටීමට අවසර දිය නොහැකි බවයි. ඒ අනුව වරෙන්තු නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා නඩුව සැප්තැම්බර් 30 වනදා නැවත කැඳවීමට නියෝග කළේය.

What's your reaction?

Related Posts

1 of 1,000

Leave A Reply

Your email address will not be published. Required fields are marked *