සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර තුන්වන පන්දුවාර විස්සයි විස්ස තරඟය ලකුණු 07කින් ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද සමත් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායමක් මෙලෙස නවසීලන්තයේදී පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ජයක් ලැබුවේ 2006 වසරෙන් පසු පළමු වරටයි. තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 218ක් රැස් කළා. එය ශ්‍රී ලංකා කණ්ඩායමක් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ රැස්කළ දෙවන වැඩිම ලකුණු සංඛ්‍යාවයි. නායක චරිත් අසලංක වේගවත් ලකුණු 46ක් රැස් කළේ 06 පහර පහක් සමගින්.විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ කුසල් ජනිත් පෙරේරා පන්දු 46කදී ලකුණු 101ක් රැස් කිරීමට සමත් වුණා. එය ඔහුගේ පළමු පන්දුවාර විස්සයි විස්ස ශතකයයි. ඔහුගේ ඉනිමට හයේ පහර 04ක් සහ හතරේ පහර 13ක් ඇතුළත් වුණා. ඔහු සිය ශතකය වාර්තා කළේ පන්දු 44කින්. එය ශ්‍රී ලංකා පිතිකරුවෙකු විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ වාර්තා කළ වේගවත්ම ශතකය වනවා. එමෙන්ම මහේල ජයවර්ධන සහ තිලකරත්න දිල්ශාන්ගෙන් පසු විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ ශතකයක් වාර්තා කළ තුන්වන පිතිකරුවා වන්නේ කුසල් ජනිත් පෙරේරායි. එමෙන්ම ඔහු අද විස්සයි විස්ස පිටියේ ලකුණු 2,000 සීමාව පසුකර යාමටද සමත් වුණා. එවැනි දස්කමක් දැක්වූ පළමු ශ්‍රී ලාංකික පිතිකරුවා වන්නේද කුසල් ජනිත් පෙරේරායි. එමෙන්ම කුසල් ජනිත් පෙරේරා අද තරඟයේදී තවත් වාර්තාවක් බිහි කළා. ඒ, පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ අවස්ථා වැඩිම සංඛ්‍යාවකදී ලකුණු 50ට වඩා වැඩියෙන් රැස් කළ පිතිකරු බවට පත්වෙමින්. ඔහු මේ වන විට අවස්ථා 16කදී. ලකුණු 50ට වැඩියෙන් රැස් කර තිබෙනවා. කුසල් ජනිත් මෙලෙස බිඳහෙළුවේ කුසල් මෙන්ඩිස් බිහිකළ වාර්තාවයි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 07ක් දැවී රැස් කරගත හැකිවූයේ ලකුණු 211ක් පමණයි. නවසීලන්තය පන්දුවාර 14ක් වන තුරු ඔවුන්ගේ දළ ලකුණු වේගය එක් පන්දු වාරයකට ලකුණු 10ක මට්ටමක පවත්වා ගැනීමට හැකි වුණා. නවසීලන්ත ජයග්‍රහණයට අවසන් පන්දු 36දී හිමිව තිබූ ඉලක්කය ලකුණු 76ක්. එහෙත් චරිත් අසලංක යැවූ 15 වෙනි පන්දු වාරයේදී නවසීලන්තය ලකුණු 25ක් ලබා ගනිමින් තරඟය තමන් දෙසට හරවා ගත්තා. පසුව 16 වන පන්දුවාරය යැවූ වනිඳු හසරංග ලකුණු 02ක් පමණක් ලබාදී කඩුලු 02ක් දවා ගනිමින් තරඟය යළි ශ්‍රී ලංකාව දෙසට හරවා ගත්තා. අද තරඟයේදී ශ්‍රී ලංකාව සහ නවසීලන්තය ලකුණු 429ක් රැස් කළා. එය දෙරට අතර පන්දුවාර විස්ස තරඟයකදී වාර්තා වූ වැඩිම ලකුණු සංඛ්‍යාවයි