​“ශ්‍රී ලංකාව අපේ හිතවතෙක්; ඕනෑම වෙලාවක තෙල් දෙන්න අපි සූදානම්” – ඉරාන තානාපතිගෙන් සහතිකයක්

කොළඹ පිහිටි ඉරාන තානාපති කාර්යාලයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ඉරාන තානාපති ආචාර්ය අලිරේසා දෙල්කොෂ් මහතා දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරන බවට සහතික විය. ශ්‍රී ලංකාව සමීප මිත්‍ර රටක් ලෙස හඳුන්වා දුන් තානාපතිවරයා, ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම අවස්ථාවක ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීමට ඉරානය සූදානම් බව අවධාරණය කළේය. හෝමුස් සමුද්‍ර සන්ධිය ශ්‍රී ලංකාව වැනි මිත්‍ර රටවල නෞකා සඳහා විවෘතව පවතින බවත්, එම රටවල අවශ්‍යතා සපුරාලීමට උපරිම සහයෝගය ලබා දෙන බවත් ඒ මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.​ශ්‍රී ලංකාව කිසිදු අයුරකින් අසීරුතාවයට පත්වනු දැකීමට ඉරානය අකමැති බවත්, ශ්‍රී ලාංකික ජනතාව කෙරෙහි ඉරානය තුළ ඉහළ ගෞරවයක් පවතින බවත් තානාපතිවරයා මෙහිදී සිහිපත් කළේය. විශේෂයෙන්ම ආර්ථික සහ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාවට අවශ්‍ය සහයෝගය අඛණ්ඩව ලබාදීමට තම රට කැපවී සිටින බව ඔහු පැවසීය. මේ අතර, ඉරානයේ වසන විදේශිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය සියලු යටිතල පහසුකම් සලසා ඇති බවත්, ඔවුන්ට කිසිදු ගැටලුවකට මුහුණ දීමට සිදු නොවන ලෙස පියවර ගෙන ඇති බවත් ඔහු මෙහිදී අනාවරණය කළේය.​යම් හෙයකින් ඉරානයේ සිටින විදේශිකයන්ට නැවත සිය රටවලට යාමට අවශ්‍ය වුවහොත්, තුර්කිය වැනි අසල්වැසි රටවල් හරහා ඔවුන්ගේ ගමන් පහසුකම් සලසා දීමටද ඉරානය සූදානම් බව ආචාර්ය දෙල්කොෂ් මහතා ප්‍රකාශ කළේය. ද්විපාර්ශ්වික සහයෝගීතාවය සහ මිත්‍රත්වය පෙරදැරිව ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය වෙනුවෙන් උපරිමයෙන් පෙනී සිටින බව තානාපතිවරයා සිය කතාව අවසානයේදී අවධාරණය කළේය.

What's your reaction?

Related Posts

1 of 1,062

Leave A Reply

Your email address will not be published. Required fields are marked *