නිෂ්පාදන පදනම පටු වීම සහ අපනයන විවිධත්වය අඩුවීම හේතුවෙන්, යුරෝපා සංගමය (EU) සමඟ ඇති GSP+ (Generalized Scheme of Preferences Plus) වෙළෙඳ සහනයෙන් ශ්‍රී ලංකාවට ලබාගත හැකි උපරිම ප්‍රතිලාභ සීමා වී ඇත.වර්තමාන GSP+ යෝජනා ක්‍රමය යටතේ යුරෝපා සංගම් බලධාරීන් විසින් තීරුබදු මාර්ග (tariff lines) 6,000ක් පමණ යටතේ ශ්‍රී ලංකා නිෂ්පාදන සඳහා ප්‍රවේශය ලබා දී ඇතත්, දැනට භාවිත කරනු ලබන්නේ එයින් 54ක් පමණි. ශ්‍රී ලංකාවේ පවතින සීමිත නිෂ්පාදන පදනම හේතුවෙන්, අපනයන සඳහා වන මෙම තීරුබදු මාර්ග බොහොමයකින් උපරිම ප්‍රයෝජන ගැනීමට නොහැකි වී තිබේ.යුරෝපා සංගමය යනු රටවල් 27කින් සහ පාරිභෝගිකයන් මිලියන 450කින් සමන්විත කලාපයකි. 2023 වසරේදී යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ විශාලතම වෙළෙඳ සහකරු ලෙස පැවති අතර, වෙළෙඳ පරිමාව යුරෝ බිලියන 3.84ක් (අපනයන යුරෝ බිලියන 2.56ක් සහ ආනයන යුරෝ බිලියන 1.28ක්) විය.2005 වසරේ සුනාමි ව්‍යසනයෙන් පසුව යුරෝපා සංගම් කලාපයේ වෙළෙඳපොළට තීරුබදු මාර්ග 6,000ක් යටතේ නිෂ්පාදන අපනයනය කිරීමට ශ්‍රී ලංකාවට GSP+ සහනය පිරිනැමිණි. දැනට ශ්‍රී ලංකාවෙන් ප්‍රධාන වශයෙන් ඇඟලුම්, රබර් නිෂ්පාදන සහ තේ වැනි ද්‍රව්‍ය ජර්මනිය සහ ප්‍රංශය වැනි රටවල වෙළෙඳපොළ වෙත අපනයනය කෙරේ. කෙසේ වෙතත්, GSP+ යටතේ මුළු කලාපය පුරාම ඒකාකාරී කොන්දේසි අදාළ වුවද, ස්ලෝවේනියාව වැනි අනෙකුත් සාමාජික රටවල් කෙරෙහි අපනයන සම්බන්ධයෙන් අවධානය අඩුකමක් දක්නට ලැබේ.