සියලු ආගමික සහ සංස්කෘතික අනන්‍යතාවලට ගරු කරමින් මෙරට සෑම පුරවැසියෙකුටම නිදහසේ ජීවත් වීමට අවස්ථාව ලබා දෙන බවත්, ශ්‍රී ලංකාව කවර හෝ ජාතිවාදී උගුලකට හසු වීමට ඉඩ නොතබන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත “ශ්‍රී ලාංකික දිනය” වැඩසටහන් පිළිබඳව දෙමළ, මුස්ලිම් පක්ෂ නායකයින් සහ විපක්ෂය නියෝජනය කරන නියෝජිතයන් දැනුවත් කිරීමේ හමුවකට එක්වෙමිනි.මෙම හමුව ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණු අතර, ප්‍රජාවන් අතර අවබෝධය වර්ධනය කරමින් සංහිඳියාවෙන් යුත් ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ දැක්ම පෙරදැරිව සියලු ජන කොටස් එක් කර ගනිමින් “ශ්‍රී ලාංකික දිනය” පැවැත්වීමට සැලසුම් කර තිබේ. සියලු ජාතීන් එක් කර ගනිමින් මෙම සැමරුම සංවිධානය කිරීම, ඊට සහභාගී වූ සියලු පක්ෂ නායකයන්ගේ සහ නියෝජිතයන්ගේ ඇගයීමට ලක් වූ අතර, ඔවුන්ද ඒ සම්බන්ධයෙන් සිය අදහස් සහ යෝජනා ඉදිරිපත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් සංවිධානය කෙරෙන මෙම ජාතික වැඩසටහනේ සංවිධාන කටයුතු පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. දේශපාලනික, ආගමික සහ සංස්කෘතික විවිධත්වයෙන් ඔබ්බට ගොස්, පොදු වේදිකාවක සියලු දෙනාට එක්ව කටයුතු කළ හැකි පරිදි වැඩසටහන් නිර්මාණය කරන ලෙසට ජනාධිපතිවරයා සංවිධායක මණ්ඩලයට උපදෙස් ලබා දී ඇත.තවද, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක වන විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය පරදන “රටම එකට” ජාතික මෙහෙයුමට සහ රට තුළ ජාතික හා ආගමික සමගිය ගොඩනැඟීමේ වැඩපිළිවෙළට, සහභාගී වූ නියෝජිතයෝ කොන්දේසි විරහිතව තම සහාය ලබා දෙන බවට එහිදී අවධාරණය කළහ.























