ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය නවීකරණය කරමින්, කඩදාසි භාවිතයෙන් තොර විද්‍යුත් පද්ධතියක් (Paperless System) හරහා නඩු විභාග කිරීමේ ඓතිහාසික ආරම්භය පසුගිය මාර්තු 26 වනදා ශ්‍රේෂ්ඨාධිකරණයේදී සනිටුහන් විය. අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම ප්‍රථම ඩිජිටල් නඩු විභාගය පැවැත්වුණු අතර, එය මෙරට නීති ක්ෂේත්‍රයේ දැවැන්ත පරිවර්තනයක සන්ධිස්ථානයක් ලෙස සැලකේ. විනිසුරු අර්ජුන ඔබේසේකර සහ විනිසුරු ආචාර්ය සෝභිත රාජකරුණා යන මහත්වරුන් මෙම විශේෂ විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයෝ වූහ.මෙම නව තාක්ෂණික පද්ධතිය යටතේ විභාගයට ගැනුණු ප්‍රථම නඩුව වූයේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ ක්‍රියාවලියකි. 2024 වසරේ පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය පිටවීමේ සිද්ධියට අදාළ මූලික අයිතිවාසිකම් නඩු තීන්දුව ප්‍රකාරව, රජයට ගෙවීමට නියම කළ රුපියල් මිලියන 03ක වන්දි මුදල ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් වගඋත්තරකරුට එරෙහිව මෙම නඩු කටයුත්ත ගොනු කර තිබුණි. සම්ප්‍රදායික ලිපිගොනු වෙනුවට නවීන විද්‍යුත් ක්‍රමවේද ඔස්සේ මෙවැනි සංකීර්ණ නඩු කටයුත්තක් විභාග කිරීම හරහා අධිකරණ ක්‍රියාවලියේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට අපේක්ෂිතය.අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීම තුළින් නඩු ප්‍රමාදය අවම කර ගැනීමටත්, වඩාත් විනිවිදභාවයකින් යුත් නීතිමය පසුබිමක් නිර්මාණය කිරීමටත් මින් මග පෑදෙනු ඇත. තාක්ෂණය සමඟ මුසු වූ මෙම ප්‍රගතිශීලී පියවර, මෙරට නීති ක්ෂේත්‍රය ගෝලීය ප්‍රමිතීන්ට අනුකූලව යාවත්කාලීන කිරීමේ අනාගත අරමුණු ජය ගැනීමට ඉවහල් වන බව නීති විශාරදයන්ගේ මතයයි.
























