සංක්‍රාන්ති ලිංගික සිරකරුවන්ට ඉදිරියේදී ඉදිකිරීමට නියමිත බන්ධනාගාරවල වෙනම නවාතැන් දීම සළකා බැලීමට නියමිත බව වාර්තා වේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සහ බන්ධනාගාර කොමසාරිස් ගාමිණී දිසානායක ප්‍රකාශ කර ඇත්තේ දැනට බන්ධනාගාරවල පවතින අඩු පහසුකම් හේතුවෙන් සංක්‍රාන්ති ලිංගික සිරකරුවන්ගේ අයිතිවාසිකම් වැඩිදියුණු කිරීම සහ ඔවුන්ට වෙනම ඉඩක් වෙන්කිරීම අභියෝගයක් වී ඇති බවයි.

නව බන්ධනාගාර ඉදිකරන විට එය ඉටු කළ හැකි වනු ඇති බව ඔහුගේ අදහසයි.

“මෙය තදබදය නිසා ඇති වූ ප්‍රශ්නයක්. කොහොම වුණත් අපි සෑම විටම උත්සාහ කරන්නේ නිල හැඳුනුම්පතක් ඇති සංක්‍රාන්ති ලිංගික සිරකරුවන්ට ඒ අනුව නවාතැන් දීමටයි. ඔවුන් කැමති ලිංගභේදය තහවුරු කරන හැඳුනුම්පතක් ඔවුන් සතුව නොමැති නම් අපි ඔවුන්ව සංක්‍රාන්ති ලිංගිකයකු ලෙස සැළකිව හැකිද යන්න තක්සේරු කරන වෛද්‍යවරයකු වෙත යොමු කරනවා. අපට ලැබෙන වෛද්‍ය උපදෙස් මෙන්ම අදාළ සිරකරුගේ මනාපය මත පදනම්ව, ඔවුන්ට සුදුසු පරිදි නවාතැන් දෙන්නේ කෙසේද යන්න පිළිබඳ අපි තීරණය කරනවා.” යනුවෙන් ඔහු පවසා තිබේ.

එසේ වුවද, ලිංගික අපරාධකරුවන් සංක්‍රාන්ති ලිංගිකයන් ලෙස හඳුනාගැනීම හරහා ඔවුන්ගේ අයිතිවාසිකම් අවභාවිත කිරීමට ඇති හැකියාව අනුව බන්ධනාගාර තුළ සංක්‍රාන්ති ලිංගිකයන් පිළිගැනීම සම්බන්ධයෙන් අවදානමක් පවතින බව දිසානායක පවසයි.

මෙය වළක්වා ගැනීම සඳහා පුද්ගලයකුගේ අතීත අපරාධ ඉතිහාසය මෙන්ම ඔවුන්ගේ හැසිරීම් පිළිබඳ සොයා බලන බව ද ඔහු සඳහන් කරයි.

“මෙය සාමාන්‍යයෙන් අනතුරක් වන්නේ ස්ත්‍රී දූෂණ හෝ ලිංගික අතවර සම්බන්ධයෙන් චෝදනා ලබන පිරිමින් කාන්තාවන් සමඟ සිරගත කරන විටයි” යනුවෙන් දිසානායක පෙන්වාදෙයි.

කෙසේවෙතත් ගැහැනියක ලෙස ඉපදී පිරිමියකු බවට පත් වූවන් විසින් සිදුකරන ලිංගික අපයෝජන පදනම් කරගත් අපරාධ ක්‍රියාකාරකම් බොහෝදුරට අපට දක්නට නොලැබෙන බව ද ඔහු සඳහන් කර තිබේ.

ඔහු මෙම අදහස් පළකර තිබුණේ බන්ධනාගාර පද්ධතිය තුළ සංක්‍රාන්ති ලිංගික ප්‍රජාවගේ අයිතිවාසිකම් ඇතුළු තවත් අය අතරට ඉඩ සැලසීම පිළිබඳ බන්ධනාගාර බලධාරීන් සහ සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව අතර ඊයේ පැවති සාකච්ඡාවකින් අනතුරුවය.

එහිදී සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා පෙන්වා දී ඇත්තේ සංවර්ධිත රටවල් බොහොමයක් සංක්‍රාන්ති ලිංගික අයිතිවාසිකම් පිළිගෙන ඇති බවයි.

කෙසේවෙතත් 2016 ජූනි මස සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාව සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන්ට තමන් කැමති ස්ත්‍රී පුරුෂ භාවයෙන් පිළිගැනීම සඳහා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිගැනීමේ සහතිකයක් ලබා ගැනීමට අවසර දී ඇත.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *