සංචාරක පැමිණීම් ඉහළට – ආදායම පහළට: ශ්‍රී ලංකා සංචාරක ක්ෂේත්‍රය අභියෝගයක!

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ ගියද, 2026 වසරේ ජනවාරි මාසයේදී සංචාරක ක්ෂේත්‍රයෙන් ලැබූ විදේශ විනිමය ආදායම පහත වැටී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත පෙන්වා දෙයි. මෙමගින් සංචාරකයින් මෙරට තුළ සිදුකරන වියදම්වල අඩුවීමක් පෙන්නුම් කරන අතර, එය ක්ෂේත්‍රයේ ප්‍රගතිය කෙරෙහි පීඩනයක් එල්ල කර තිබේ. ​මහ බැංකු වාර්තාවලට අනුව, 2026 ජනවාරි මාසයේදී සංචාරක ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 378.3ක් වූ අතර, එය 2025 වසරේ ජනවාරි මාසයේ ලැබූ ඩොලර් මිලියන 400.7ක ආදායමට සාපේක්ෂව 6%ක වාර්ෂික පසුබෑමකි. කෙසේ වෙතත්, උත්තර අර්ධගෝලයේ ශීත සෘතු සංචාරක ප්‍රවණතාවය හේතුවෙන් 2025 දෙසැම්බර් මාසයේ වාර්තා වූ ඩොලර් මිලියන 308.6ක ආදායමට වඩා ජනවාරි මාසයේදී යම් වර්ධනයක් දක්නට ලැබුණි.​සංචාරකයින් පැමිණීම අතින් ගත් කල, 2026 ජනවාරි මාසයේදී සංචාරකයින් 277,327 දෙනෙකු මෙරටට පැමිණ ඇත. මෙය 2025 ජනවාරි මාසයේ පැමිණි 252,761ක් වූ සංචාරකයින් සංඛ්‍යාවට සාපේක්ෂව 10%ක කැපී පෙනෙන වර්ධනයක් වන අතර, එය මෑත ඉතිහාසයේ වාර්තා වූ ඉහළම මාසික පැමිණීමක් ලෙසද සැලකේ.​එසේ වුවද, පැමිණීම් ඉහළ යද්දී ආදායම පහත වැටීමෙන් ගම්‍ය වන්නේ එක් සංචාරකයෙකුගෙන් ලැබෙන සාමාන්‍ය ආදායම අඩුවී ඇති බවයි. ආර්ථික විශ්ලේෂකයින් පවසන්නේ මෙරට ආර්ථිකය යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා හුදෙක් සංචාරකයින් සංඛ්‍යාව වැඩි කරගැනීම පමණක් ප්‍රමාණවත් නොවන බවත්, වැඩිපුර වියදම් කරන සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම ඉදිරියේදී අත්‍යවශ්‍ය වන බවත්ය.

What's your reaction?

Related Posts

1 of 1,006

Leave A Reply

Your email address will not be published. Required fields are marked *