ශ්‍රී ලංකා පොලිසියේ නිල නාමය භාවිතා කරමින් සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන පණිවිඩයක් සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය විශේෂ පැහැදිලි කිරීමක් නිකුත් කර තිබේ. “අවධානයෙන් සිටින්න. අපේ රට මුහුණ දෙන ආර්ථික දුෂ්කරතා පවතින මෙම කාලසීමාව තුළ අප සැවොම තේරුම් ගත යුතු වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව ඔබේ දැඩි අවධානය යොමු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු” යනුවෙන් සඳහන් එම පණිවිඩය, පොලිසිය විසින් නිකුත් කරන ලද්දක් නොවන බව බලධාරීන් තහවුරු කර ඇත.පොලිස් නිල නිවේදන නිකුත් කරනු ලබන්නේ පොලිස් මාධ්‍ය කොට්ඨාසය හරහා පමණක් බවත්, ඒවා විධිමත් මාධ්‍ය නිවේදන ලෙස මාධ්‍ය ආයතන වෙත යොමු කරන බවත් එම නිවේදනයේ අවධාරණය කර තිබේ. ඒ අනුව, නිවැරදි තොරතුරු දැනගැනීම සඳහා පොලිසියේ නිල ෆේස්බුක් (Facebook) පිටුව සහ යූ ටියුබ් (YouTube) නාලිකාව වැනි නිල සමාජ මාධ්‍ය වේදිකාවන් පමණක් පරිශීලනය කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.මෙම නොමග යවන සුළු පණිවිඩය පුද්ගලයෙකු හෝ සංවිධානාත්මක කණ්ඩායමක් විසින් හිතාමතා පතුරුවා හරින ලද්දක් ද යන්න පිළිබඳව පොලිසිය මේ වන විටත් විමර්ශනයක් ආරම්භ කර ඇත. එබැවින්, සමාජ මාධ්‍ය හරහා හමුවන තහවුරු නොකළ තොරතුරු බෙදා හැරීමේදී වඩාත් කල්පනාකාරීව සහ බුද්ධිමත්ව කටයුතු කරන ලෙස පොලිසිය වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටී.
























