ශ්‍රී ලංකාවේ තීරණාත්මක තොරතුරු යටිතල පහසුකම් පද්ධති ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය (NCSOC) සමඟ සම්බන්ධ කිරීමේ ජාතික වැඩපිළිවෙළ, අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව පෙබරවාරි 10 වනදා කොළඹ පැරණි පාර්ලිමේන්තු මන්දිරයේදී ආරම්භ විය. ශ්‍රී ලංකා සර්ට් (Sri Lanka CERT) ආයතනය සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය එක්ව සංවිධානය කළ මෙම විශේෂ සාකච්ඡාවේදී, මෙරට සයිබර් ආරක්ෂණ රාමුව ශක්තිමත් කිරීම සඳහා වූ අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි සැලසුම් ක්‍රියාවට නැංවීම පිළිබඳව අවධානය යොමු කෙරිණි. සයිබර් ආරක්ෂාව යනු හුදෙක් තාක්ෂණික කරුණක් නොව, ජාතික ආරක්ෂාව, ආර්ථික ස්ථාවරත්වය සහ මහජන විශ්වාසය කෙරෙහි සෘජුවම බලපාන ජාතික වැදගත්කමකින් යුත් කරුණක් බව මෙහිදී නිලධාරීහු අවධාරණය කළහ.මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ ප්රමුඛ පෙළේ රාජ්‍ය ආයතන ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය සමඟ සම්බන්ධ කෙරෙන අතර, වසර අවසානය වන විට සෙසු රජයේ ආයතන ද ඊට ඇතුළත් කර ගැනීමට අපේක්ෂිතය. මීට අදාළ ප්‍රතිපත්තිමය අනුමැතිය දැනටමත් හිමිව ඇති අතර, තෝරාගත් ආයතන ජාතික විගණන කාර්යාලයේ විගණනයට ද යොමු කෙරෙනු ඇත. තවද, රාජ්‍ය අංශයේ නිලධාරීන් සඳහා ඩිජිටල් ආරක්ෂණ දැනුවත්භාවය සහ පුහුණු වැඩසටහන් පුළුල් කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී සාකච්ඡා විය. ඩිජිටල් ආර්ථිකයක් කරා යන ගමනේදී සයිබර් ඔරොත්තු දීමේ හැකියාව පාලනයේ සහ රාජ්‍ය සේවා සැපයීමේ මූලික අංගයක් ලෙස සැලකිය යුතු බව නිලධාරීහු පෙන්වා දුන්හ.රියල් ටයිම් (Real-time) තර්ජන නිරීක්ෂණය, පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති සහ රුන්සම්වෙයාර් (Ransomware) ප්‍රහාර, වෙබ් අඩවි විකෘති කිරීම් මෙන්ම දත්ත සොරකම් වැනි සයිබර් තර්ජනවලට එරෙහිව සම්බන්ධීකරණය වූ ප්‍රතිචාර දැක්වීම් මෙම මධ්‍යස්ථානය හරහා සිදු කෙරේ. ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් වරුණ ශ්‍රී ධනපාල, ශ්‍රී ලංකා සර්ට් සභාපති තිලක් පතිරගේ සහ ප්‍රධාන විධායක නිලධාරී කණිෂ්ක කරුණාසේකර ඇතුළු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


























