මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගේ බැංකු ගිණුමෙන් රුපියල් ලක්ෂ පහකට අධික මුදලක් අනවසරයෙන් ලබාගත් බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ලංකාදීප පුවත්පතට අනුව, ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය යටතේ ක්‍රියාත්මක ගාල්ල අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් පසුගිය බදාදා (11) මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. කොස්ගොඩ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ මෙම කොස්තාපල්වරයාට එල්ල වී ඇති චෝදනාව වන්නේ, “අයිස්” මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම හේතුවෙන් මාර්තු 09 වනදා අත්අඩංගුවට ගත් සැකකරු සතු වූ බැංකු කාඩ්පත සොරකම් කිරීමයි.අදාළ සැකකරුගේ බැංකු ගිණුමෙන් රුපියල් 500,000 කට අධික මුදලක් සොරකම් කරන ලද කාඩ්පත භාවිත කර ලබාගෙන ඇති බවට ඔහුගේ ඥාතියෙකු කළ පැමිණිල්ලක් මත මෙම සිද්ධිය අනාවරණය වී තිබේ. ඒ අනුව සිදුකළ විමර්ශනවලින් අනතුරුව, ඇල්පිටිය වලම්බගල ප්‍රදේශයේ නිවසක සිටියදී අදාළ පොලිස් කොස්තාපල්වරයාව පොලිස් භාරයට ගෙන ඇත.


























