අතීතයේ පැවති සියලු ම රජයන් අභිභවමින් වැඩි ම මුදලක් මෙවර අයවැයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් වත්මන් රජය වෙන් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
වයඹ පිළිකා සංගමයේ පරිත්‍යාගයෙන් කුරුණෑගල ශික්ෂණ රෝහල් පරිශ්‍රයේ “අශිංසා මැඳුර” ASHINSA MADURA, (Cancer Home) නමින් ඉදිකිරීමට යෝජිත සත්මහල් ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිරි සැලැසුම් පිළිබඳ ව සාකච්ඡා කිරීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවති රැස්වීමක දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම කරුණු අනාවරණය කළේ ය.
පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීම මූලික කරගනිමින් ඉදිකිරීමට යෝජිත මෙම ගොඩනැගිලි සංකීර්ණයේ බිම් මහළ ඇතුළු ව පළමු මහල වයඹ පිළිකා සංගමය මගින් අංග සම්පූර්ණව ඉදිකර දීමට යෝජිතය. ඉතිරි මහල් ඉදිකිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය සහ කුරුණෑගල ශික්ෂණ රෝහල සම්බන්ධීකරණයෙන් ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර එම ඉදිකිරීම් සදහා ද යම් මූල්‍ය දායකත්වයක් ලබා දීමට වයඹ පිළිකා සංගමය මෙහි දී කැමැත්ත පළ කර සිටියේ ය.
පිළිකා රෝගයෙන් පෙළෙන රෝගීන් 120 දෙනෙකුට සුවපහසු නේවාසික ප්‍රතිකාර පහසුකම් මෙමගින් ලැබෙන අතර රෝගී කුඩා දරුවන්ට මෙන් ම පූජ්‍ය පක්ෂයට ද නේවාසික ප්‍රතිකාර ගැනීමේ පහසුකම් මෙම ගොඩනැගිලි සංකීර්ණයෙන් සැලසීමට යෝජිත ය.
සම්පූර්ණ ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීම සදහා රුපියල් බිලියන 1.2 මුදලක් ඇස්තමේන්තු කර ඇති අතර පළමු අදියර යටතේ ඉදිවන බිම් මහල සමඟ පළමු මහල සඳහා රුපියල් මිලියන 455 ක මුදලක් ඇස්තමේන්තු කර ඇති අතර දේශීය සහ විදේශිය පරිත්‍යාගශීලීන්ගේ මුල්‍ය පරිත්‍යාගවලින් ඉදිකිරීම් සිදුකිරිමට සැලසුම් කර ඇති අතර පළමු අදියරේ ඉදිකිරීම් ආරම්භකර වසර දෙක හමාරක් තුළ අවසන් කිරීමට ද යෝජිත ය.
පිරිමි සහ කාන්තා පාර්ශවය සඳහා වෙනම වාට්ටු, ආහාර අනුභවය සදහා වෙනම පරිශ්‍ර, නේවාසික රෝගී කාමර පහසුකම්, වෛද්‍යවරුන් සඳහා නේවාසික පහසුකම් මෙන් ම නවීන පහසුකම්වලින් සමන්විත ශ්‍රවණාගාරයක් ද මෙම සංකීර්ණයේ සැලසුමට ඇතුළත් වේ.
මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතීතයේ පැවැති සියලුම රජයන් වෙන්කළ මුදලට වඩා වැඩිම මුදල් ප්‍රමාණයක් මෙවර අයවැයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගමනය සඳහා වත්මන් රජය වෙන් කිරීමට පියවර ගත් බව ද පැවසී ය. වත්මන් රජය එම මුදල් නිසිලෙස කලමණාකරණය කරමින් අවශ්‍යතාවයත් මනාව තේරුම් ගනිමින් ක්ෂේත්‍රෙය් ප්‍රගමණය උදෙසා යෙදවීමට කටයුතු කරන බව ද සඳහන් කළේ ය.
පසුගිය කාලයේ ඉදිකිරීම් ආරම්භ කර අතරමග නවතා දමා ඇති ව්‍යාපෘති ගණනාවක් ම මෙරට රජයේ රෝහල් පරිශ්‍රතුළ පවතින බව මෙහි දී සිහිපත් කළ අමාත්‍යවරයා එම ව්‍යාපෘති ද නැවත ආරම්භ කර කඩිනමින් එහි අවසානයක් සිදුකළ යුතු බව ද වැඩිදුරටත් පැවසී ය.
තවදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා මෙරටින් වාර්ෂිකව නව පිළිකා රෝගීන් 33,000 කට ආසන්න ප්‍රමාණයක් සෞඛ්‍ය අංශ මගින් හදුනා ගන්නා බවත්, ඉන් බහුතරයක් මුඛ පිළිකා සහිත පිරිමි පාර්ශ්වය වන බවත්, කාන්තාවන් අතර පියයුරු පිළිකාව ප්‍රධාන තැනක් ගන්නා බවත්, පිළිකා රෝගී තත්ත්වයන් හේතුවෙන් වසරකට 19,000 කට ආසන්න පිරිසකගේ ජිවිත අහිමි වන බව සෞඛ්‍ය දත්ත පෙන්වා දෙන බව අනාවරණය කළ අතර පිළිකා රෝගය මර්දනය කිරීම සදහා ජනතාව දැනුවත් කිරීමට සාධනීය විශේෂ වැඩසටහන් සැලසුම් කරමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය ද අවධාරණය කළේ ය.
රජය මගින් සිදුකළ යුතු මෙවැනි ව්‍යාපෘති පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රාහකත්වය ඇති ව සිදු කිරීම හේතුවෙන් රජයේ බර තරමක් අඩුවන බව ද පැවසූ අමාත්‍යවරයා මෙවැනි ව්‍යාපෘති සෞඛ්‍ය සේවාවට ලබා දීම පිළිබඳව සිය ස්තූතිය වයඹ පිළිකා සංගමයට පිරිනමන බව ද පැවසීය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සැලසුම්) විශේෂඥ වෛද්‍ය එස්.ශ්‍රීධරන්, අධ්‍යක්ෂ (සැලසුම්) වෛද්‍ය ජානකී විදානපතිරණ, කුරුණෑගල ශික්ෂණ රොහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය මිහිරි ප්‍රියංගනී, වයඹ පිළිකා සංගමයේ සභාපති නිමල් ඒකනායක, ලේකම්වරුන් වන සුනිල් එදිරිසංහ, භාණ්ඩාගාරික එච්.එච්.බී.කරගමුව යන මහත්ම මහත්මීන් ඇතුළු ව පිරිසක් එක් ව සිටියහ.
