දෙස් විදෙස් සැදැහැවතුන්ට ඉතා ගෞරවාන්විතව හා පහසුකම් සහිතව ශ්‍රී දළදා වහන්සේ වන්දනා කිරීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි මහතා පවසයි.
“සිරි දළදා වන්දනාව” පිළිබඳ දැනුම්වත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (10) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
දළදා ප්‍රදර්ශනය අප්‍රේල් 18 වැනිදා සිට 28 වැනිදා දක්වා දින දහයක් පුරා පැවැත්වීමට සැලසුම් කර තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් ලලිත් ඇටම්පාවල මහතා මෙසේ පැවසීය:
“අපි ජනතාව පෝලිම් තුනකින් එකතු කරගැනීමට සැලසුම් කරනවා. වැව රවුම වටේ පෝලිම් දෙකක් සහ ඩී.එස්. සේනානායක වීථිය ඔස්සේ තවත් පෝලිමක්. ඒ වගේම ප්‍රවාහන පහසුකම් සැලසුම් කළොත්, මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය, ශ්‍රීලංගම සහ දුම්රිය දෙපාර්තමේන්තුව එක්ව විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරලා තියෙනවා. නගරයට වාහන වැඩිපුර ඇතුළු වුණොත්, ඒවා නගරයට පිවිසෙන්න කලින් නවත්වා, එම පුද්ගලයින් විශේෂ බස්රථවලින් ප්‍රවාහනය කිරීමට කටයුතු සූදානම් කර තිබෙනවා. ආබාධිත සහ මහලු පුද්ගලයින්ට අවශ්‍ය නම් නවාතැන් ගැනීමට කැප්පෙටිපොළ විදුහල සහ විවේකානන්ද විදුහල ඉදිරියේදී සූදානම් කර තිබෙනවා.”
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පොලිස් අධිකාරි ඩී.සී.ඩී. ඉලංගකෝන් මහතා පැවසුවේ, ශ්‍රී දළදා වහන්සේට පූජා කරන පූජා භාණ්ඩයක් හැර වෙනත් කිසිවක් ඇතුළතට රැගෙන යාමට අවසර නොමැති බවයි.
ජංගම දුරකථන රැගෙන ඒම තහනම් කර නැතත්, ඒවා ක්‍රියා විරහිත කර තබා ගත යුතු බවත්, කිසිසේත් ඡායාරූප ගැනීමට අවස්ථාවක් ලබා නොදෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
දළදා ප්‍රදර්ශනය පැවැත්වෙන උදෑසන 7.30 සිට රාත්‍රී 2.00 දක්වා කාලය තුළ 35,000කට ආසන්න පිරිසකට රාත්‍රී ආහාරය ලබාදීමේ කටයුතු ශ්‍රී දළදා මාළිගය විසින් සිදු කිරීමට නියමිතය.